අනුරාධපුර, නුවර වැවේ දිය නෑමට ගිය අවුරුදු හයක් වයසැති දරුවෙකු දීයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවනගල, ගලිගමුව – කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
පසුගිය විසි වන දා සිය සහෝදරියන් සහ දෙමව්පියන් ඇතුළු පස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අනුරාධපුරයට වන්දනාවේ පැමිණ තිබෙන අතර එම ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දිය නෑම සඳහා මෙම පිරිස නුවර වැවට ගොස් තිබේ.
අවුරුදු හයක් වයසැති මෙම දරුවා දිය නෑවීමෙන් අනතුරුව වැව් බැම්ම මත තබා එම දරුවාගේ මව, පියා සහ සහෝදරයින් දිය නාමින් සිටියදී මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටියදී හොරොව් ඇලට වැටී තිබේ.
පසුව දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව මීට යාබදව සිටි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම දැනුවත් කර තිබෙන අතර පසුව ඔවුන් මෙම ස්ථානයට පැමිණ දරුවා බේරා ගෙන කෘතිම ස්වසනය ලබා දෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බරපතළ තත්ත්වයේ පසුවූ මෙන දරුවා ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම ස්ථානයේ හොරොවුව අඩි අටක් පමණ ගැඹුරු හා දිග අඩි 50ක් පමණ වන බවය.
මෙම ස්ථානයේ දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබියදී දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව ද පොලිසිය පවසයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)