ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ඊයේ (සැප් 4) නියෝග කළේ ය.

එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

ඉකුත් 24 වන දා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ජාතික ජන බලවේගයේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංඝ සමුළුවකදී කිසිදු ආගමකට එම රජය යටතේ ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවට හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා තම අංශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

එසේ සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලු ම මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්මත කරගත් බවට පෞද්ගලික රූපවාහිනි නාළිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුරදී විකාශය වූ බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට එම නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඉහත සඳහන් නියෝගය නිකුත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here