අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවත්, සම්බන්ධන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්. සම්බන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමිනි.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිවරයා ඔහුගේ අභාවය තමාට දිගුකාලීන මිතුරෙකුගේ අහිමි වීමක් බවද සඳහන් කළේය.

ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම කථා කළ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙන බවත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ තිබෙන ප්‍රශ්න නීතියෙන්ම විසඳීමට එම කොමිසමට බලයට ලබා දීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතාගේ භූමිකාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා විපක්ෂ නායකයෙකු යනු විකල්ප අගමැතිවරයා බව සඳහන් කළ අතර, ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් නියම විපක්ෂ නායකයෙකුගේ ගුණාංග ප්‍රකට කළ බව ද සඳහන් කළේය.

මේ අතර මැතිවරණ පිළිබඳව ද අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ කවුරු අධිකරණය හමුවට ගියද මෙම වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here