ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ලවන යුද අනතුරක් පිළිබඳව තොරතුරු වාර්තා වීම අතරතුර ඊශ්‍රායලයට සම්බන්ධ නෞකාවක් ඉරානය විසින් අත්අඩංගුවට ගත් බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA අද (13) ප්‍රකාශ කළේ ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් ඊශ්‍රායලයට සම්බන්ධ යැයි පැවසූ MSC Aries යාත්‍රාව අල්ලාගෙන එය ඉරානයේ මුහුදු ප්‍රදේශයට රැගෙන ආ බවයි.

තම ආරක්ෂක නාවික හමුදාවේ විශේෂ බලකා හෙලිකොප්ටරයක් පෘතුගීසි ධජය සහිත යාත්‍රාවට ගොඩවී එය අත්අඩංගුවට ගත් බව IRNA සඳහන් කරනවා.

Eyal Ofer’s Zodiac සමූහයට අනුබද්ධ පෘතුගාලයේ ධජය සහිත MSC Aries නෞකාව මෙලෙස අත්අඩංගුවට ගත බවයි කියන්නේ. හෙලිකොප්ටරයක සිට කමාන්ඩෝ භටයින් නැව වෙත ඇතුල් වූ බවයි කියන්නේ. මෙම නැව අයත්වන Zodiac Maritime සමාගම අයිති වන්නේ ඊශ්‍රායල කෝටිපතියෙකු වන Eyal Ofer ට බවයි කියන්නේ.

MSC Aries අවසන් වරට ඩුබායි නගරයෙන් ඔබ්බට ගොස් හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කළ බව වාර්තා වෙනවා.

මෙම නැව අත්අඩංගුවට ගත ඕමාන් බොක්ක පිහිටා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වන අතර එමඟින් ලෝකයේ තෙල්වලින් පහෙන් එකක ප්‍රවාහන මාර්ගය වැටී ඇති බවයි කියන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි ෆුජයිරා, නැව්වලට තෙල් පැටවීමට, සැපයුම් ලබා ගැනීමට සහ පිරිස් හුවමාරු කර ගැනීමට භාවිතා කරන ප්‍රධාන වරායක් වනවා.

MSC Aries අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසා ඇතත් ඉරාන පාලනය තාමත් නිල වශයෙන් මේ පිළිබඳව කිසිවක් පවසා නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here