උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පැවසීය.

උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීම නියමිත කාලයට වඩා වසර 09ක් පමණ ප්‍රමාදවීම නිසා ඩොලර් බිලියන 200කට ආසන්න මුදලක් රටට අහිමි වී තිබෙනවා. ඒ අනුව පසුගිය වසර 09ක කාලය වෙනුවෙන් වූ පාඩුව ඩොලර් මිලියන 587ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 529ක් ලෙස සටහන් වුණා. නමුත් ගෙවුණු වසර 09 තුළ උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත විදුලි උත්පාදනය ජාතික පද්ධතියට එක්කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තු ගත මුදල හා සමාන පාඩුවක් දැරීමට සිදු වුණා.

ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත විදුලි උත්පාදනය ජාතික පද්ධතියට එක් කිරීමෙන් පසුවත් මෙම ව්‍යාපෘතිය නිසා නායයාම් සිදුව තිබෙන බව පවසමින් ජනතාව නොමඟ යවන මාධ්‍ය සංදර්ශන සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. එහිදී වර්ෂාපතනයෙන් පසුව ඇතිවන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කටයුතුවල නිරත වනවා. නමුත් මෙම ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු නාය යාමේ හෝ වෙනත් සිදුවීමක් තහවුරු වී නැති බව සඳහන් කළ යුතුයි. කෙසේ වුවත් උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා හෙට (01) දිනයේ භූ විද්‍යාඥයින් කණ්ඩායමක් ඒ ආශ්‍රිතව නිරීක්ෂණ සංචාරයක නිරත වන බව ද සඳහන් කළ යුතුයි. එහිදී කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් ඒ සියල්ල වෙනුවෙන් තාක්ෂණික පිළිතුරු ඇති බව ද අප රජයක් ලෙස වගකීමෙන් පවසනවා. එවැන්නක් ඇත්නම් ඒවා වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ලෝකය පුරා අත්දැකීම් තිබෙනවා.

මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය සමයේ ඇතැමුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් රටට අහිමි වුණා. 2015 වසරේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබුණත් අධිකරණ ක්‍රියාමර්ග ගැනීම හේතුවෙන් එය අහිමි වුණා. එමෙන්ම කෙරවලපිටිය LNG බලාගාරය මෙන්ම තවත් කුඩා විදුලි බලාගාර කිහිපයක් විරෝධතා හරහා අහිමි කළා. මේ ආකාරයට මහජනතාව බියගන්වන සහ ප්‍රකෝපකාරි කරන පණිවිඩ මඟින් සංවර්ධන ව්‍යාපෘති රැසක් රටට අහිමි කර තිබෙනවා. ඒ නිසා මහජනතාව අසත්‍ය තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.

එමෙන්ම මේ වන විට විදුලි නිෂ්පාදනයේ දී 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම සඳහා අප රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹ තිබෙනවා. ජලය, සූර්ය සහ සුළං ආශ්‍රිත විදුලි බලාගාර පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දක්වන බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම සුළං බලයෙන් හෝ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ව්‍යාපෘති මෙගාවෝට් 10ට අඩු නම් ඒවා කඩිනමින් ලබා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. පුනර්ජනනීය විදුලිය කඩිනමින් ලබාගැනීමට අපට නොහැකි වුවහොත් අනාගතයේ නැවත විදුලි අර්බුදයක් නිර්මාණය විය හැකියි.

තව ද විදුලි බලාගාර සඳහා බලපත්‍ර ලබා ගන්නා අය බලාගාර ආරම්භ නොකර ඒවා විශාල මුදලකට වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කිරීම සඳහා කල්මරමින් සිටින මාෆියාවක් ද නිරීක්ෂණය වී තිබෙනවා. ඒ නිසා අප විසින් මේ වන විට බලාගාර කඩිනම් කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි දී ඔවුන්ට නිසි වේලාවට අනුමැතිය ලබාදී ලකුණු ක්‍රමයක් මඟින් නිෂ්පාදනය කරන විදුලිය කඩිනමින් ජාතික පද්ධතිය එකතු කරගැනීම සඳහා වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම වහල මත ඉදිරකන ලද මෙගවෝට් 05 සිට 500 දක්වා සූර්ය පැනල ව්‍යාපෘති මඟින් පසුගිය සමයේ මාසිකව ලබා ගැනීමට හැකිවුණේ මොගාවොට් 22ක පමණ ප්‍රමාණයක් පමණයි. නමුත් මේ තත්ත්වය පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසු ඉකුත් මාර්තු මාසය වන විට එම ප්‍රමාණය මෙගාවෝට් 40 දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here