වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් කුමන හෝ ආණ්ඩුවක ඇමැති ධූර දරා තිබෙන බවත් මේ නිසා හැත්තෑ හය වසරක ශාපය සම්බන්ධයෙන් අනෙකට චෝදනා කර තමන් සුදනා වීමට කිසිවෙකුටත් නොහැකි බවත් දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පවසයි.

ආණ්ඩු පිහිටු වූ මෙන්ම ආණ්ඩු පිහිටු වීමට දායක වූ පක්ෂ නායකයින් අද නව දේශපාලන බලවේග ගොඩ නගන්නට උත්සහ කරන බව ද ඒ මහතා කීය. 

එට්කා ගිවිසුම, දහතුන බලාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (08) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ දී පැවැති  වැඩසටහනට එක් වෙමින් උවිදු විජේවීර මහතා මෙසේද පැවසුවේය. 

එට්කා ගිවිසුම, දහතුන බලාත්මක කිරීම, රටේ සම්පත් විදේශ රටවලට විකිණීම හා අහිතකර අණපනත් වලට එරෙහිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දෙවන පරපුර එයට අනුග්‍රහයක් දක්වමින් ලංකාව පුරා පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කරනවා. 

රටට නීතියක් තිබිය යුතුයි. නීතිය පසිඳලන ආයතනත් තිබිය යුතුයි. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක විය යුතුතේ  ඒ ක්‍රමවේදය ඔස්සේ යි. එසේ නොමැතිව නීතිය ජනතාව අතට පත් කිරීම නුවනට හුරු දෙයක් නෙවෙයි.  

ඉන්දියාව විසින් ලංකාවේ ආණ්ඩුව වෙත යොමු කර තිබෙන එට්කා ගිවිසුම හමුවේ රට මුහුණ දී තිබෙන අනතුර සම්බන්ධව අපි ලංකාව පුරා ජනතාව දැනුවත් කරනවා. මව්බිම මුහුණ දී තිබෙන අනතුර සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අපේ වගකීමක්. වත්මන් පාර්ලිමේන්තුවේ 225 දෙනා  නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් මේ රටේ විශාල අර්බුදයක් නිර්මාණය කළා. මේ අය අතර ආණ්ඩු හදපු මෙන්ම හදපු ආණ්ඩු වල හිටපු පක්ෂ නායකයින් ඉන්නවා.  අවුරුදු 06 න් 06 ට ආණ්ඩු හදන්න සහය දෙමින් ඇමැතිකම් දරපු 225 ඇතුළේ ඉන්න කිසිම පක්ෂයකට මේ ව්‍යාකූල තත්ත්වයෙන් එළියට එන්න කිසිම වුවමනාවක් නැහැ. 

ඔවුන්ට ඕන කෙසේ හෝ බලය ලබා ගැනීම පමණයි. මේ කෑදර, ඉතාම අශීලාචාර, රට විනාශ කරන සිස්ටම් එක නඩත්තු කිරීම තමයි ඔවුන්ගේ උවමනාව. මේ ව්‍යාකූල තත්ත්වයත් එක්ක අපි විශ්වාස කරනවා අලුත් බලවේගයක් රටට අවශ්‍යයි කියලා. ජනතාව අලුත් බලවේගයක් හොයනවා. ඒකට උත්තරේ අරන් තමයි අපි ඇවිත් ඉන්නේ. අපි විශ්වාස කරනවා ජනතාව ප්‍රාර්ථනා කරන වෙනස අපිට කරන්න පුළුවන් කියලා. රට විකුණන රට පාවා දෙන දූෂිත දේශාපලන වළල්ලට ගැට නොගැහැණු කණ්ඩායමක් අපි.ආණ්ඩු හදපු ආණ්ඩු පත් කරපු අය ඇති කරපු ප්‍රශ්න වලට ඒ අයගෙන්ම විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ.දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා රට බෙදන විට, එට්කා වැනි ඉන්දියානු ආක්‍රමණ හමුවේ මේ අය නිහඬයි. එහෙම පක්ෂයක් කොහොමද අලුත් බලවේගයක් ලෙස ජනතාව විශ්වාස කරන්නේ. මොවුන් උත්සහ කරන්නේ කල් මරමින් තමන් ගේ ඡන්ද මල්ල පුරවා ගන්නයි.                                                                                                                 

නිදහසින් පසු තට්ටු මාරු ක්‍රමයට බලයට පත් වූ රජයන් රටට කරපු විනාශය සම්බන්ධයෙන් ඕනෑම පක්ෂ නායකයෙක්, මැති ඇමතිවරයෙක් හා වගකිවයුතු පුද්ගලයෙක් සමග විවෘත සංවාදයකට එන්න මම ඕනෑම වෙලාවක කොන්දේසි විරහිතව සූදානම්. 

මැයි දිනයේ දී පක්ෂ ජන බලය පෙන්නලා තිබුණා. ගෝල්ෆේස් කැම්බල් පිටිය, නගර සභා පිටිය පුරවපු පක්ෂ වගේම මහ පාර  වැහෙන්න මිනිස්සු අරන් පෙළපාලි ගිය පක්ෂ තමයි මේ රට මේ තැනට ඇදගෙන ගිහින් තියෙන්නේ.සම්ප්‍රදායික ලෙස මත්පැන් දීලා බස් වලින් ගෙනල්ලා මේ පාරත් ප්‍රධාන පක්ෂ ජන බලය පෙන්නුවා. ජනතාව වෙනසක් සොයමින් ඉන්නේ. අපි ස්මාර්ට් දේශපාලනයක් කරන්නේ. මැතිවරණය කැඳවීමෙන් පසු අපේ නායකයා, අපේ කණ්ඩායම එළි දක්වනවා. 

ඝාන්ඨාරයක් නාද කළොත් ඒකේ සද්දේ නෙවෙයි ඇයි නාද කලේ කියලයි බලන්න ඕන. මේ ආණ්ඩුව කරන්නේ ඝාන්ඨාරය ශබ්ද කළ කෙනා නිහඬ කරන්න උත්සහ කිරීමයි. වීසා ගැටලුව සම්බන්ධයෙන් ගුවන් තොටු පොළේ දී කතා කළ තරුණයාට අද වෙලා තියෙන්නේ මේ දෙය යි. සාධාරණ ලෙස මතුවන තරුණ හඬ යටපත් කරන්න උත්සහ කළොත් ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here