කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු පිරිසක් ඔවුන්ගේ පංතියේ ඉගෙනුම ලබන සිසුවෙකු ගේ හිසට ඇද ඇතිරිල්ලක් දමා අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සැකපිට 14 හැවිරිදි සිසුන් තිදෙනෙකු පෙරේදා (31) අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමෙන් තුවාල ලත් සිසුවා දෙමව්පියන් විසින් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබේ.

සිසුවා ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පහරදීම සම්බන්ධයෙන් විමසා ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස දෙමව්පියන්ට දැනුම් දී ඇත.

අදාළ පහර දීම පාසල් දෙවන වාරය නිමා කළ දිනයේ සිදුකර තිබෙන අතර පහර දීම සිදුකළ බව කියන එක් සිසුවෙකු ගේ පියා මැදිහත්ව පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ගෙවීමට එකඟතාව පළකර තිබෙන බව පොලීසිය පවසයි.

පහර කෑමට ලක් වූ සිසුවා ගේ දෙමව්පියන් මේ හේතුවෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ප්‍රමාද කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සැකපිට අත්අඩංගුට ගත් 14 හැවිරිදි සිසුන් තිදෙනා වත්තේගම,කොණ්ඩදෙණිය හා මාවිල්මඩ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 30 ක ශරීර ඇප මත ඔවුන් තිදෙනා මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්තරයා පියවර ගෙන තිබේ.

සැකකාර සිසුන් ට යළි දෙසැබ්බර් මස 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසල මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බව දැන ගන්නට තිබේ.

මෙම පහර දීමට තවත් සිසුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here