ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවධානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මේ වන විටත් එම හඳුනාගත් ප්‍රදේශ තුළ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවි කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ද එම කාර්යාලය පවසනවා.
මෙම අධි අවධානම් ප්‍රදේශ පසුගිය වසරේ දී මී උණ රෝගීන් විශාල ලෙස වාර්තා වූ බවත් මෙම වසරේ පළමු මාස 04ක කාලය තුළ පමණක් මී උණ රෝග වැළඳුනු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු හඳුනාගත් බවත් වාර්තා වෙනවා.
ඒ අතුරින් රෝගීන් දෙදෙනෙකු මියගිය බව පැවසෙනවා.
මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු යාගොඩමුල්ල සිට හීනටියන දක්වා පුරන් කුඹුරු යායක් මැදින් පයින් ගමන් කළ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා අස්ගිරි වල්පොල ප්‍රදේශයේ අත්තනගලු ඔයේ අතු ශාඛාවක් දෙපස දර කැඩීමට ගිය අයෙකු බව එම කාර්යාලය පවසනවා.
මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් (leptospirosis) රෝගය මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයක්.
මෙම රෝගයම වෙල් උණ, පතල් උණ යනුවෙන්ද හඳුන්වනු ලබානවා.
මී උණ leptospirainterrogans නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනෙන්නක්.
(මිනුවන්ගොඩ දමිත් තිසර)