තම වෘත්තීය ගැටලු සඳහා සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ සේවා වර්ජනයකට යනු මිසක වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න පවසයි.         

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ඒකාබද්ධ වෘත්තීය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් 14 දින අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ වෙත සංදේශයක් බාරදී තම රාජකාරී ගැටලු විසඳාලීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව ජාතික සංවිධායකවරයා මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.        

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නෙවිල් විජේරත්න මහතා මෙසේද කීය.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල, ප්‍රවාහන , ලිපි ද්‍රව්‍ය හා නිල ඇඳුම් දීමනා යථාවත් කර ගැනීම සඳහා වන අපේ වෘත්තීය  ඉල්ලීම් වසර ගණනාවක් තිස්සේ රජයේ බලධාරීන්ට ඉදිරිපත් කළා. සාකච්ඡා 41 කට සහභාගි වුණා. නමුත් මේ දක්වා කිසිදු සාධනීය පිළිතුරක් නෑ. වෘත්තීය ඉල්ලීම් සහිත කෙටුම්පත් දෙක අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු හෝ අවධානයක් යොමු කරලා නෑ. අනුමත කරලා නෑ. ඒ නිසයි අපි 14 දින සිට 16 දින දක්වා දින තුනක් අසනීප නිවාඩු වාර්තාකොට සේවයෙන් ඉවත් වුණේ. මේ සඳහා අවධානය යොමු නොවුණහොත් ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන් 27 දින කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නියැලෙන්න අපි බලාපොරොත්තු වෙනවා.         

ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කරලා දැනට වසර 61 ක් වෙනවා. දිගින් දිගටම අපේ ඉල්ලීම් කළත් කිසිම විසඳුමක් නෑ. වසරටම නිල ඇඳුම් දීමනාව රුපියල් 5000 යි. මේකෙන් පුලුවන්ද අවුරුද්දක් නිල ඇඳුමක් පවත්වාගෙන යන්න. ඒ වගේම මාසෙට ඉන්ධන දීමනාව රුපියල් 600 යි. අපේ ඇතැම් ග්‍රාම නිලධාරීන් වසම් 03 ක් විතර බලනවා. ඔය මුදලෙන් පෙට්රල් ලිටර් 02 ක් ගහන්න පුළුවන්ද. ලිපි ද්රව්ය සඳහා වසරටම දෙන්නේ රුපියල් 1500 යි. හාප් සිට් කොළ බණ්ඩලයක් ගන්න පුළුවන්ද. කාර්යාල දීමනාව රුපියල් 1000 -1500 යි. කාර්යාලයක් පවත්වාගෙන යනවා කියා විදුලි බිලක් ගෙවන්න පුළුවන්. ඕක තමයි තත්ත්වය. අපේ මාසික වැටුපෙන් සියයට තිස් පහක් මේ රාජකාරී කටයුතු සඳහා අනිවාර්යයෙන් වැය කරන්න ඕනේ. එතකොට කොහොමද අපි අනිත් කටයුතු කරගන්නේ. මේ අසාධාරණය තමයි අපි අවුරුදු ගානක් තිස්සේ කියන්නේ. මේවට බලධාරීන් නෑසූ කන්ව බිහිරි වගේ ඉන්නවා.  තවදුරටත් ඉවසන්න බෑ.  අපි දැන් සියලුම ග්‍රාම නිලධාරී සංගම් එක්ව තීරණයක් අරන් තියෙනවා. අපි වෘත්තීය ඉල්ලීම් ලැබෙනකම් අපි මේ ක්රියාමාර්ග  නවත්වන්නේ නෑ. ඉල්ලීම් ලැබෙනතුරු අඛණ්ඩ සේවා වර්ජනයකට යන්න තීරණය කරලා තියෙනවා. මෙහිදී ජනතාව මුහුණ දෙන අපහසුතාවය සම්බන්ධයෙන් රජය වග කිව යුතුයි.      

මෙහිදී ප්‍රගතිශීලි ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති චමින්ද වීරසූරිය හා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ගුණරත්න යන අයද අදහස් පල කළ අතර අස්ගිරි මහා නා හිමි අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ මෙහිදී කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කිරීම සඳහා අවශ්ය පියවර ගන්නා බවය.

(කමල් සුරවීර  මහනුවර ) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here