ග්‍රාම නිලධාරීහු මුහුණපා සිටින වෘත්තීය ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත විදුලි පණිවිඩ යොමු කිරීමේ ක්‍රියා මාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තීය බල මණ්ඩලය 15 දින පියවර ගත්තේය.    

මේ වන විට අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින දිවයින පුරා ග්රාම නිලධාරීහු තම ප්‍රදේශයේ තැපැල් ස්ථාන වෙත ගොස් ජනපතිතුමන් වෙත විදුලි පණිවිඩ යොමු කිරීම සඳහා මීට සමගාමීව එක්ව සිටියහ.        

මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න කියා සිටියේ තම වෘත්තීය ගැටලු පිළිබඳව මේ දක්වා අදාළ සියලු අංශ දැනුවත් කලද විසඳුමක් නොලද බැවින් මින් පසු ග්රාම නිලධාරී වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩලය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ජනාධිපතිතුමන් සමග පමණක් බවය.        

ඊට  මූලාරම්භයක් වශයෙන් දිවයින පුරා විසිර සිටින 14.000 කට ආසන්න ග්‍රාම නිලධාරීහු 15 හා 16 දෙදින තම වෘත්තීය ගැටළුවට මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපතිතුමන් වෙත විදුලි පණිවුඩ යැවීමට කටයුතු කරන බවද අවම වශයෙන් ජනාධිපතිතුමන් වෙත විදුලි පණිවිඩ 10.000 ක් යැවීම බලාපොරොත්තුව බවද හෙතෙම කීය.               

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නෙවිල් විජේරත්න මහතා මෙසේද කීය. 

සේවා ව්යවස්ථාව  ස්ථාපිත කිරීම, කාර්යාල, ප්රවාහන, ලිපි ද්රව්ය හා නිල ඇඳුම් දීමනා යථාවත් කර ගැනීම සඳහා වන අපේ ඉල්ලීම් වසර ගණනාවක් තිස්සේ රජයේ බලධාරීන්ට ඉදිරිපත් කළා. සාකච්ඡා 41 කට සහභාගි වුණා. නමුත් මේ දක්වා කිසිදු සාධනීය පිළිතුරක් නෑ. අපි ඉල්ලීම් සහිත කෙටුම්පත් දෙක අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු හෝ අවධානයක් යොමු කරලා නෑ. අනුමත කරලා නෑ. මේ සඳහා අවධානය යොමු නොවුණහොත් ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන් 27 දින කොළඹට පැමිණ විරෝධතා ව්යාපාරයක නියැලෙන්න අපි බලාපොරොත්තු වෙනවා.  ඒ සඳහාද අදාල වගකිවයුතු අංශ අවධානයක් යොමු නොවුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා හැරෙන්න වෙනත් විසඳුමක් අපිට නෑ.         

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here