ග්‍රාම නිලධාරියෙකු ජනාධිපති වූ රටේ වසර 60 ක් පුරාවට තට්ටු මාරු ක්‍රමයට පත්වූ රජයන් ග්‍රාම නිලධාරීන් රැවටුවා මිසක ඔවුනගේ ඉල්ලීම් කිසිවක් හෝ ලබාදීමට මේ දක්වා පියවර ගෙන නොමැති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ පවසයි.  

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම උදෙසා මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේදී 05 දින සිදුකළ  දේව කන්නලව්වකින් අනතුරුව හෙතෙම මාධ්ය ඉදිරියේ ඉහත අදහස් පළ කළේය.     

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. 

අපි ග්‍රාම නිලධාරීන් 60 වසරක් තිස්සේ පැවති රජයන්ට අපගේ වෘත්තීය ඉල්ලීම් වරින් වර ඉල්ලීම් කළද මේ දක්වා  කිසිම අවදානයක් යොමු කළේ නෑ. අපි 2016 වසරේ සිට ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් ඉල්ලුවා ලබා දුන්නේ නෑ. ඒ වගේම ගමන් වියදම් දීමනාව, නිල ඇඳුම් දීමනාව, කාර්යාල දීමනාව හා ලිපි ද්රව්ය දීමනාව ලබා දෙන්න කියලා කොතෙක් ඉල්ලීම් කළා. නමුත් බලධාරීන් නෑසූ කන්ව හිටියා. අද අපේ වැටුප මේ කාර්යාල අවශ්‍යතා වෘත්තීය අවශ්යතා ඉටුකර ගැනීම සඳහාම වැය කරන්න වෙලා තියෙනවා. අපේ පුද්ගලික දෙයක් කරගන්න විදියක් ඇත්තේම නෑ.අද ග්‍රාම නිලධාරීන් යාචකයෝ බවට පත්වෙලා තියෙනවා.             

අපි මේ ඉල්ලීම් ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා අමාත්යාංශ ලේකම් දක්වා වගේම ප්‍රාදේශීය සභා මන්ත්රීවරයාගේ ඉඳලා ජනාධිපති දක්වා යොමු කරලා තියෙනවා. නමුත් වැඩක් නෑ. මේ දක්වා කිසිදු  පලක් උනේ නෑ. දැන් අපිට වෙන කියන්න කෙනෙක් නෑ. ඒ නිසයි මේ දෙවියන්ට කන්නලව් කරලා අපේ දුක කියන්න ආවෙ. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් ප්‍රාදේශීය නිලධාරී සංගමය හා ශ්‍රී ලංකා ප්‍රගතශීලී ප්‍රාදේශීය නිලධාරී සංගමය යන ග්‍රාම නිලධාරි සංගම් සියල්ලම එකතු වෙලා මේ රටේ සියළුම ප්‍රාදේශීය නිලධාරීන් අද තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක මිටට එකතුවෙලා ඉන්නවා.       

අපි මේ මාසේ 06 හා 07 දෙදින ලෙඩ නිවාඩු දාලා සේවයෙන් ඉවත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මස 08 දින කැබිනට් රැස්වීමට අපි ඉල්ලීම් යොමු කරයි කියලා එහෙම නැති වුනොත් මේ රටේ ඉන්න සියලුම ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට තීරණය කරලා තිබෙනවා. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික ගුණරත්න යන අයද අදහස් පළ කළේය.     

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here