ලංකාවේ උසස් පෙළ ටියුෂන් සඳහා වසරකට රුපියල් බිලියන 20කට අධික මුදලක් දෙමාපියන් වැය කරතී යයි ජෝෂප් ස්ටාර්ලින් කළ ප්‍රකාශයක්

අප්‍රේල් 21 ඉරිදා මොනරා පත්‍රයේ මුල් පිටේ පළ විය. එහෙම වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නො කිරීම නිසා බව ජෝෂප් ස්ටාර්ලින් වැඩිදුරටත් එහි අවධාරණය කර තිබිණ.

2021 සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ගුරු සේවය සංඛ්‍යාවෙන් 235,924ක් පමණ වේ. (රජයේ පාසල් සංඛ්‍යාවෙන් 10155ක් වන අතර පුද්ගලික පාසල් 9782 කි. තව පුද්ගලික පාසල් 374ක් පටන් ගත්තොත්…… අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පලක් නැත. එහි ආඩම්බරය කාටද? ටියුෂන් සඳහා වසරකට රුපියල් බිලියන 20ක් වැය කිරීමට රටේ දෙමාපියන්ට සිදුවීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. මා එසේ කියන්නේ පුද්ගලික පාසල් සහ ටියුෂන් පන්ති කරන්නේත් දරුවන් සඳහා හෙයිනි.

මොනරා පත්‍රය උපුටා දැක්වූ  ගුරු නායක ජෝෂප් ස්ටාලින් මේ ගන සිය අනුගාමික රජයේ ගුරුවරුන් සමග සාකච්ඡා කළාද යන්න අර වාර්තාවේ සඳහන් නොවීය.
ජෝෂප් ස්ටාර්ලින් මේ තටමන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නො කිරීම ගැන ගුරු සේවය තවත් වීදි සටන් මාලාවකට කැඳවීම ය.

අධ්‍යාපනය කඩා වැටීම හෙවත් ගුරු සේවය මෙහෙයවීමට අසමත්වීමේ වගකීම පින්ලන්තයට සාපේක්ෂව රටේ පාලකයන් භාරගත යුතු බව කිසිවෙකු කියයි නම් එය සාධාරණය. එහෙත්  වසංගත, ආර්ථීක හා දේශපාලන හේතු නිසා  සිව් වසරකට ආසන්න කාලයක් වැසී ගිය පාසල් පද්ධතිය තමන් බලයට පත්ව පැය 48ක් තුළ ජනාධිපති වික්‍රමසිංහ යළි සක්‍රිය කළ ද, 2023නේ  සැලසුම් කළ උසස් පෙළ විභාග වර්ජන නිසා පැවැත්වීමට බලධාරින්ට නො හැකි විය. 2024 ජනවාරියේ උසස් පෙළට පෙනී සිටි දරුවන්ගේ පිළිතුරු පත්‍ර බැලීම දීමනා මදි කියා නතර කළ ගුරුවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි සාකච්ඡාව ලැබුණේ නැත. උත්තර පත්‍ර බලන තෙක් සාකච්ඡාවක් නොදෙන බවට ජනාධිපති ගත් තීරණය ඇසූ  සිවිල් සමාජය මෙහෙමත් හරක් රංචුවක් කියා සිනාසුණේ, ජෝෂප් ස්ටාර්ලින්ලාට මිස, ගුරු සංහතියට නොවේ. 75 වසරක රටේ ප්‍රගතියට සාප කරන ජෝෂප් ස්ටාර්ලින්ලා තම බඩ වියත පුරවා ගන්නේ ගුරු සංහතිය පාරට දැක්කීම ගැන නම් කිසිවෙකු සමාව නො දිය යුතුවේ.  

ගුරු සංහතිය ගැන සාකච්ඡා කරන හැම විටෙකම රටේ සිවිල් සමාජය පොදුවේ ගුරු වෘත්තිකයන් අනේ අපොයි වැනි නිර් වචන වලින් හෑල්ලූ කළාට, ඒ විවේචකයන් පාසලේදී තමන් මිනිසුන් කිරීමට කැපවී ක්‍රියා කළ අතීතයේ සිය ගුරු දෙවි දේවතාවියන් දුටු තැන තැන නො තැන නො බලා වැඳ වැටෙන්නාහ. මෙයින් අදහස් වන්නේ පින්ලන්තයේ පවත්නා අධ්‍යාපන අපේක්ෂාවන් අඩු වැඩි වශයෙන් ලංකාවේ පැවති බවය. ඒ යුගයේ එල්. ආරියවංශ දේ. පිටර් සිල්වා ජයසේකර වැනි විශිෂ්ඨයන් සහෝදර ගුරුවරුන් සමග,පන්ති කාමරවලදී පාසල්වල දරුවන්ට උගන්වන අතර, ගුරු සංහතියට දුන් විශිෂ්ඨ නායකත්වයයි. එකී විශිෂ්ඨයන් කිසි විටෙක වෘතීය සමිති මුවාවෙන් පින් පඩි නො ගත්තා සේම හිරේ විලංගුංවේ වැටී වීරයන් වීමට උත්සාහ කළේ නැත. අද මාලිමා වේදිකාවේ රඟපාන දීපානී සිල්වා ශිල්පිනිය ජෝෂප් ස්ටාර්ලින්ලාට ජයසිංහලාට අතීතයේ පැවති ගුරු වෘත්තියේ ප්‍රෞඪත්වය සුද්ධ සිංහලෙන් මතක් කර නොදීම අපරාධයකි.

එල්. ආරියවංශ දේ පිටර් සිල්වාලා වැනි විශිෂ්ඨයන් ගුරු පරපුරට නායකත්වය දුන් නවසිය හැට ගණන්වල රත්තොට පරාක්‍රම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිටියේ සිසුන් සිව් දෙනෙකි. ඒ දරුවන්ගේ පරිහරණය සඳහා ජයසේකර අබේරුවන්ගේ ජ්‍යෙෂ්ඨ සිංහලය නම් පාඨ ග්‍රන්ථය ඕපල්ගල බණ්ඩා මහත්තයා නම් පුහුණු ගුරු දෙවියා තම සාක්කුවෙන් රුපියල් අටයි ශත විස්සක් වැය කොට ගෙනත් දුන්නේය. (හේමලයා ස්වයං චරිතාපදානය සරසවි ප්‍රකාශනයකි.) ඒ කාලයේ පාසල් පුස්තකාල යනු හීනයක් පමණකි.එල්. ආරියවංශ දේ පිටර් සිල්වාලා වැනි විශිෂ්ඨයන් ගුරු පරපුරට නායකත්වය දුන් නවසිය හැට ගණන්වල රත්තොට පරාක්‍රම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිටියේ සිසුන් සිව් දෙනෙකි. ඒ දරුවන්ගේ පරිහරණය සඳහා ජයසේකර අබේරුවන්ගේ ජ්‍යෙෂ්ඨ සිංහලය නම් පාඨ ග්‍රන්ථය ඕපල්ගල බණ්ඩා මහත්තයා නම් පුහුණු ගුරු දෙවියා තම සාක්කුවෙන් රුපියල් අටයි ශත විස්සක් වැය කොට ගෙනත් දුන්නේය. (හේමලයා ස්වයං චරිතාපදානය සරසවි ප්‍රකාශනයකි.) ඒ කාලයේ පාසල් පුස්තකාල යනු හීනයක් පමණකි.

මේ කාලයේම ලග්ගල පල්ලේගමින් එපිට සැතපුම් 15ක් පා ගමනින් යා යුතු පාසලකට ලඟාවූ රජයේ  පාසල් පරීක්ෂකවරයාට පාසලයට පැමිණි සිසූන් මිස, එහි සේවය කළ එකම ගුරුවරයා සිටිනු දක්නට නො ලැබිණ, පාසල් පරීක්ෂකවරයා පැමිණි බවට සිසුන් කළ දැනුම් දීමකින් කලබලවී කඩිමුඩියේ පාසලට දිව ආ මුල්  ගුරුවරයා සිංහල ක්‍රමයට සිය ප්‍රධානියාට ආචාර කළේය.

 මොකද අමුඩේ පිටින්… කෝ උන්නැහේ යට ඇඳුම…මේක ඉස්කෝලයක් නේද? පාසල් පරීක්ෂක එසේ විමසුවේ වැඩ ගත් කෝපයෙනි. ඔහුගේ උඩු කය ගුරු භූමිකාවට  උචිත සුදු කමිසයෙන් වැසී තිබුණද, ඉනෙන් පහත වැසී තිබුණේ සුපුරුදු වේට්ටියෙන් නොවේ. යටි කය විළි වැසී තිබුණේ ඉණ ලණුවේ පටලවා ගෙන සිටි අමුඩයෙනි. වහා ගුරු නිවාසයට දිව ගිය මුල් ගුරුවර අමුඩයා  පාසලට උචිත වේට්ටියක් පටලවා නැවත සිය නිලධාරියා වෙත පැමිණියේය.

අර ගුරුවරයා සිරිතක් ලෙස පාසල් කාලයේත් අමුඩය ගසා සිය එළවළු කොරටුවේ වැඩ කරමින් සිටීමත් වර්තමාන සමහර ගුරුවරු දරුවන් ටියුෂන් සඳහා දැක්කීමත්, කඩිනමින් උත්තර පත්‍ර බැලීම වෙනුවට ඉල්ලීම් මුල් කොට පලකයන් බිය වැද්දීමත් අතර වෙනසක් නැත. ශිෂ්‍යත්ව, අපොස සා පෙළ, උසස් පෙළ ආදි විභාග ප්‍රතිපල නිකුත්වූ පසුව ඉහළින් සමත් සිසුන්ගේ අයිතිවාසිකම් කියමින් ටියුෂන් කාරයන් ලක්ෂ ගණන් වැය කර පළ කරන මාධ්‍ය දැන්වීම් හරහා ඉස්මතු වන්නේ ලංකාවේ රජයේ ගුරු වෘත්තිකයන් පාසල් පන්ති කාමරය පිළිබඳ ඛේදවාචකය නොවේද? එසේම අඳුරු වැටුණ හැන්දෑවෙත් පාසල් නිල ඇඳුමෙන් නගරයේදී පාසල් දු දැරියන් දැකිය හැක්කේ කාගේ විනය පිරීහිම නිසාද?

අධ්‍යාපන සේවයේ පමණක් නොව රටේ ආකල්ප ධන ඍණ ලෙස උඩු යටිකුරු වෙමින් පවතී. සමහරුන් කිසි විටෙක මකලාවත් හදන්න බැරි එවුන් රටේ ජිවත්වන බවය.

”මුනි සිරිපා සිඹිමින්නේ … මගේ පුතා නැලවෙන්නේ” ගීතයට නැළවුණ උගත් මිතුරියක හැටියට වෘත්තිකයන් අධිකරණයේදී හඳුන්වන නීතිඥ නිලන්ති කොට්ටහච්ච්, ගැහැනු එක මිටට පොර කන වේදිකාවට නැග උතුම් මාතෘත්වයට, ස්ත්‍රීත්වයට තන දෙ සීසයට ගැහැනු සීයයි යනුවෙන් දුන් ගණිතමය නිර්වචනය අමුඩේ පිටින් පාසල් ආ අර ගුරුවරයා සිහිපත් කරවන්නකි. රටේ හැටි එහෙමය.

නැවත ලිපියේ මුලට යයි නම්  උසස් පෙළ දරුවන් පාසල් යවන දෙමාපියන්ට ටියුෂන් සඳහා වසරකට බිලියන 20කට අධික මුදලක් වැය වන්නේ මෙවන් සමාජයකය. ගුරුන්ට නායකත්වය දෙන ජෝෂප් ස්ටාර්ලින්, ජයසිංහ දෙදෙනාම වසර විසි ගණනක් ආසාවට දරුවෙකුට අකුරක් උගන්වා නැත. ඔවුන් දෙදෙනා ගුරු වෘත්තියේ ගරුත්වය දැන සිටියා නම්, ගුරු වෘත්තීය සමිති සටන් පෙළ ගැස්වීමට පාසල් වාරය පටන් ගන්නා තෙක් බලා සිටින්නේ නැත, ඔවුන්ට වැදගත් රටට වැඩදායි දරුවන් හැදීමට සහාය වීම නොවේ.

පාසල් වාරය අතර, විභාග ප්‍රතිපල පමා කර  දරුවන් පීඩාවට පත් කිරීමෙන් දෙමාපියන් කෝප ගන්වා රටේ ප්‍රශ්න ඇති කිරීමය. මේ හෙයියන් මාරුව හමුවේ  දෙමාපියන්ට සිද්ධ වී ඇත්තේ තොපි මගුලක් කර ගනියව් කියා ණය තුරුස්වී  ටියුෂන් යවා දරුවන් ගොඩ දැමීමය, පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ත්‍රීමා විතාරණලා බිල්ලට දුන් ජවිපෙ නායකයන්, ටියුෂන් කාරයන් උපයන රුපියල් සත වලින්  බ්‍රෑන්ඩඩ් කලිසම් කමිස සපත්තු ඇඳ පැළඳ විලි වසා ගැනීමට හුරු වී සිටිති. මේ අභ්‍යාසය තුළ  අනුර කුමාරලා රටේ අධ්‍යාපනයට කරන වියදම් හා ගුරු වෘත්තියේ උසස්වීම් ගැන මිස පාසල් පැවැත්වෙන දින ගණන හෝ විභාග කල් යාම ගැන කතා කරන්නේ නැත.  

මේ ලිපියේ ඉහතින් සඳහන් කළ පරිදි ඉල්ලීම් දෙන තෙක්, පසුගිය උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීම වර්ජනය කර ගුරු වෘත්තීය සංගම් ජනාධිපති සමග  සාකච්ඡාවක් ඉල්ලා සිටි අවස්ථාවේ එකී උත්තර පත්‍ර බල අවසන් වන තෙක් සාකච්ඡාවක් නො දෙන බවට කළ නිවේදනය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරනු අසා සිටි, 2024  උසස් පෙළට පෙනී සිටි ගුරු යුවලකට සිටි  එකම දරුවා අත් පොළසන් දී උඩ පැන්නේය. දරුවාගේ  ප්‍රතික්‍රියාව නිරීක්ෂණය කළ, ආණ්ඩු පෙරළන සටනට එක්ව සිටි උසස් පෙළ පන්ති භාර ගුරුවරියක වූ අම්මා, ”කාටද අප්පුඩි ගැහුවේ රනිල්ටදැයි කෝපයෙන් විමසුවාය.  ඒ අවස්ථාවේ ඒ දරුවා ආපසු හැරෙන තැපෑලෙන් අම්මාට දුන් පිළිතුර මෙසේය. 

” නෑ විභාගයට ලිව්ව අපි වෙනුවෙන් ගත්ත තීරණයට…. ” අර අම්මාට සිදු වුණේ හෙමිහිට කුස්සියට යාමය. පාරට බැස සටන් කරන කණ්ඩායම් දෙස අනුකම්පාවෙන් බලන සියල්ල අමතක කොට තම අරමුණ වෙනුවෙන් වෙහෙසෙන අර දරුවන් වැනි කතා නො කරන රටේ පුරවැසියන් බොහෝ වෙති. උසස් පෙළ පන්ති භාර ගුරුවරියක වූ අර දරුවාගේ අම්මාට තම දරුවාගේ විභාග ප්‍රතිපලයට වඩා දේශපාලනය ලොකුවීම මොනරාගල බට්ටිගේ අත්දැකීම සමග ගැඹුරෙන් කියවිය යුතු ඛේදවාචකයකි.

2024-04-20 දින මොනරාගල බට්ටිගේ අවුරුදු පණිවිඩය නමින් 2024-04-20 දින ද ලීඩර් හී පළ කළ මගේ ලිපියේ මෙසේ දැක්වේ. වැඩ වර්ජන කළ දින වෙනුවෙන් හිඟ වැටුප් මෙන්ම පාඩු ලබන ආයතනයෙන් බෝනස් ඉල්ලන ලංකාවේ වෘත්තීය සමිති පැවැත්මට අනුව ……. දරිද්‍රතාව මන්ද පෝෂණය නැති බැරිකම පෙළ ගස්වා එක මිටට වීදි බසින ව්‍යාපාර වලට මොනරාගල චමෝදිගේ වලල තරුෂිගේ අම්මලා ගොදුරු වී නම් අපට තරුෂිලාට චමෝදිලාට සිද්ධ වෙන්නේ ක්‍රීඩා කරන්නට නොවේ.   මාලිමාවේ පොස්ටර් ගහන්නටය.

”ඉතුරු ටික හවසට…… ”   කියා පාඩමෙන් අඩක් ටියුෂන් එකට කල් තබන වර්තමාන ගුරුවරු පාසලේදී මුල් තැන දෙන්නේ තම දරුවා ශිෂ්‍ය නායකයා හෝ ක්‍රීඩා නායකයන් කරවීමට මිස රටේ අධ්‍යාපනයට, පාසල් එන දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට නොවේ. මේ සාකච්ඡාවේදී පොලිසියෙනුත් පගා ගන්නා අය හැටියට නම් දරා සිටින පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ආණ්ඩුවෙන් ලබා දුන් ඩෙස්ක් පුටු ලක්ෂ ගණනින් විකුණන විදුහල්පතින් අමතක කළ යුතු නැත. දේශපාලකයන්ට හෝරා කෑමට අත්සන් තබන රජයේ නිලධාරින් අමතක කළ යුතු නැත.

මේ ලිපිය ලියන මොහොතේත් රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් වැඩ වර්ජනයකට අවතීර්ණවී සිටින්නාහ. විධායන ශ්‍රෙණියේ නිලධාරින්ට වැඩ වර්ජන කළ හැකිද? තමන් කවුද යන්න ඔවුන්ට පාසලේදී ඉගැන්නුවා නම් රටට මෙහෙම වෙන්නේ නැත. 1979 සුළි සුළං නිසා රටම අවතැන්වූ අවස්ථාවේ කලාවැව නේවාසික ඉංජිනේරු මැන්දිස් දින තුනක් නිවාඩු ගෙන ගමේ ගිහින්ය. මැඩියාව ප්‍රධාන ඉංජිනේරු එස්. කරුණාරත්න මේ ලියන මා අමතා ඇසුවේ මොකද කරන්නේ කියාය. මම වහා පාරට  වැටුණ ගස් කපා කලාවැව වාන තෙක් ගමන් කළෙමි. වාන් ඇනේ එගොඩ විය නොහැකිය. ඒ අවස්ථාවේ මා දුටු විශ්මය මැන්දිස් එහා පැත්තේ සිට මට අත වැනීමය. පසුව ඔහු කීවේ රාත්‍රීයේ ව්‍යසනය ආරංචි වූ සැනින් වැඩ බිම බලා ගමන් ආරම්භ කළ බවය.(සිතක මතක සරසවි ප්‍රකාශනයකි.)

අද මාසික වැටුප් ලබන වැඩි පිරිසක් ආණ්ඩුව පෙරළීමට පෙළ ගැසී සිටිති. ඇසිය යුත්තේ දූෂණය වංචාවට එරෙහිවද? යන්න පමණකි.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here