ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින්නට වැඩ ආරම්භ කර ඇති කිසිවකු රටේ ඉදිරි ගමනට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් තවමත් හරියාකාරව ඉදිරිපත්කර නැත. ඒ ගැන කතා කරන අයද ආර්ථික අර්බුදය ගැන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් ගනුදෙනු කරන ආකාරය ගැන යාං හෑලි කියවනවා මිස, රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ නැත.
එනිසා කාටත් තේරෙන බසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රටටම අදාල මගේ “සංවර්ධන වැඩපිළිවෙල” කෙටියෙන් සමාජය හමුවේ තබන්නට අදහස් කළෙමි.
එය කොටස් දෙකකින් යුක්ත ය. පළමු කොටස දිගු ඇදෙමින්, වල් බිහි වෙමින් අරාජිකත්වයට සියල්ලන් ඇදගෙන යන දේශපාලන අර්බුදයට විසඳුම් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන, සක්‍රීය ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහාවන වැඩපිළිවෙලය. එයට ඇමුණුමක් ලෙස උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙහි අවසන් වාර්තාව එකතු කරමි. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු වලින් ඔබ්බට යන ග්‍රාමීය ආර්ථිකයද ඇතුළත් ජාතික ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන්නක් ය. මේ කොටස් දෙක එකට ගත් මගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙල “ශිෂ්ට ලංකාවක් සඳහා” යැයි මම නම් කරමි.
- සක්‍රීය ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය
මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇත. පවතින්න අවුල් ජාලයකි. එය සංශෝධනය කරමින් තව යා නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජන සමාජයක පැවැත්ම සියල්ලන්ට එක හා සමාන ලෙස කලමනාකරණය කිරීමේ නීති රාමුව ය. එනිසා එය ජනතාව විසින් සම්පාදනය කළ යුත්තකි.
ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ඒ සඳහාවන පොදු එකඟතාවන් ගණනාවක් තිබිය යුතුය. මේ සමාජයේ 1994 සිට මෙතෙක් හැම දේශපාලන පක්ෂයක්ම සන්ධානයක්ම වසර 30 ක කාලයක් නොකඩවා ලබා දුන් පොරොන්දුව වන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. මෙතෙක් කිසිවකු එය ඉටු නොකළත් එවැනි පොදු එකඟතාවන් සහිත සවිස්තරාත්මක මූලික ලියවිල්ලක් වන්නේ “සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාව” ය. එය වැදගත් වන්නේ, රාජ්‍ය සම්බන්ධයෙන්ද, වාර්ගික බෙදීම් හා බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන්ද දීර්ග කාලීන වෙනස්කම් පවත්වා ගත්, නිල්, කොල, රතු, දම්, කහ වර්ණ පක්ෂ හා කණ්ඩායම් පළමු වරට, පොදු එකඟතාවකට එහි අත්සන් තබා තිබීමය. ඔවුන් යෝජනා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගතය පරිච්ඡේද 21 කින් යුක්ත වන අතර, ඒවා වෙන් වෙන් වශයෙන් සාකච්ඡාකර එකඟතාවන්ට පැමිණීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණගේ මූලාසනින් සැසි වාර 128 ක් සඳහා 2010 ජුනි මස තෙක් වසර 02 ක කාලයක් ඔවුන් වැය කර ඇත.
එනිසා නැවත එවැනි එකඟතාවක් වෙනුවෙන් කාලය වැය කිරීම අපරාධයකි.
එහෙත් එහි අන්තර්ගතය සඳහා මම මූලික කාරණා 05 ක් ඇතුළත් කරමි.
- පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ) අනු ව්‍යවස්ථාව යටතේ සහ ශ්‍රී ලංකාණ්ඩුව අත්සන්කර අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුව මාධ්‍යවේදීන් ඇතුළු පෞද්ගලික අංශයේ සියලු සේවක සේවිකාවන්ට වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ හා වෘත්තීය සමිති සංවිධානය කිරීමේ අයිතිය කිසිදු සීමා තහංචියකින් තොරව භාවිත කිරීමේ ව්‍යවස්ථාමය අයිතිය සහතික කිරීම
- සියලු පුරවැසියනට සාහිත්‍ය කලා රස වින්දය සඳහාවන සංස්කෘතික අයිතිය මූලික මානව අයිතියක් ලෙස ව්‍යවස්ථාගත කිරීම
- මධ්‍යම ආණ්ඩුව හැර අනෙක් මහජන නියෝජන ආයතනවල සංවර්ධන සැළසුම හා වාර්ෂික අයවැය අදාල බල ප්‍රදේශයන්හි ජනතාව වෙත ඉදිරිපත්කර ඒ සඳහා ජනතාවගෙන් වැදගත් යෝජනා ඉදිරිපත් වුවහොත් ඒවාද ඇතුළත්ව සංවර්ධන සැළසුම හා අයවැය ජනතා ඡන්දයෙන් සම්මත වුවහොත් පමණක් එම නියෝජන ආයතනයෙහි වැඩි ඡන්දයෙන් ඒවා සම්මත කිරීම
- අනෙක් මහජන නියෝජන ආයතන ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සංස්ථාපිත කෙරෙන හෙයින්, පාර්ලිමේන්තුවෙහි ජාතික ලැයිස්ති මන්ත්‍රී ධුර සියල්ල අහෝසිකර, ජනතා ඡන්දයෙන් පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 1970 පාර්ලිමේන්තුවට පත් කෙරුණු 151 ට සීමා කිරීම
- උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙහි අන්තර්වාර හා අවසන් වාර්තාවෙන් කෙරෙන නිර්දේශ වසරක් ඇතුළත ක්‍රියාත්මක කිරීම (file:///C:/Users/Kusal%20Perera/Downloads/FINAL%20LLRC%20REPORT%20(1).pdf)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් පදනම් ලියැවිල්ල වශයෙන් ඉහත යෝජනා 05 ද සමග “සර්වපාක්ෂික නියෝජිත කමිටු අවසන් වාර්තාව” මම සමාජය හමුවේ තබන්නෙමි. (https://www.groundviews.org/wp-content/uploads/July-20-APRC-Final-Report.pdf?46986d)
- ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැළසුම
ආර්ථිකය ගොඩ දමන්නටත් රට ගොඩ දමන්නටත් කතා කරන කිසිවකු ජාතික සංවර්ධනයක් ගැන කතා කරන්නේ නැත. ප්‍රධාන දේශපාලන ධාරාවේ සියලු විශේෂඥයින් ආර්ථික විශේෂඥයින් ය. ඔවුන් කතා කරන්නට දන්නේ ආර්ථික වර්ධනයක් ගැන පමණය.
“සංවර්ධනය” ගැන මගේ අර්ථ දැක්වීම වන්නේ – වත්මන් සමාජයේ පවතින සියලු ආර්ථික හා සමාජීය විෂමතා ක්‍රමානුකූලව අහෝසි කෙරෙන, ජීවත්වීමේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කෙරෙන හා මූලික අවශ්‍යතා හා පහසුකම් සඳහා වන වියදම් පියවා ගෙන, ජීවිතයට සෞන්දර්යාත්මක සංස්කෘතික වින්දනයක්ද එකතු කළ හැකි ආදායමක් ලබන්නාවූ දියුණු “සංස්කෘතික මිනිසකු” වර්ධනය කිරීමය.
ආර්ථිකය ගොඩ දැමීමට තවමත් විසඳුම් කතා කරන්නේ මේ බිඳ වැටුනු ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, නාගරික පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. ආර්ථික අර්බුදයේ ගැටළුව විදේශ විනිමය හිඟය සමග ගොඩ ගැසුණු ණය කන්දරාව පමණක්ම නොවේ. මේ වෙළඳපල ආර්ථිකය ඉතිරි කළ මනුස්සකමක් නැත. එය අපට ඉතිරිකර ඇත්තේ යෝධ දූෂණ සමග එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික – වාර්ගික භේද වැනි ඛේදවාචක ය. එවැනි ආර්ථිකයක මා කතා කරන “සංස්කෘතික මිනිසකු” වර්ධනය කර ගත නොහැක. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනු වලට එහා යන නව ආර්ථික ආකෘතියක් අපට අවශ්‍ය වන්නේය.
නව ජාතික ආර්ථිකය
පළමුව එය අපගේ දකුණු ආසියානු කලාපීය වෙළඳපල වෙත විවෘත වන ආර්ථිකයකි. එවගේම එය නියත වශයෙන්ම ආනයන අපනයන තේරීම් සමගින් නියාමනය කෙරෙන, නිෂ්පාදන වෙළඳපල ආර්ථිකයකි. එනිසා විදෙස් ආයෝජකයින්ගේ ලාභය සඳහා ඔවුන්ගේ අභිමතය අනුව අපනයනයට පමණක් නිෂ්පාදන කෙරෙන පසුගිය වසර 40 ක කාලයේ අසාර්ථක වූ ආර්ථිකය වෙනුවට, ජාතික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාගත ක්ෂේත්‍ර සඳහා ආයෝජන ලබා ගැනීමට සැළසුම් කෙරෙන නව ජාතික ආර්ථිකයක් වනු ඇත.
ඒ අනුව එහි ප්‍රධාන ලක්ෂණ වනුයේ,
නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික පරිසර ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර, ඒ අනුව, ජාතික නිෂ්පාදන කටයුතු සියල්ල සැළසුම්කර ක්‍රියාවට නැගීමය. දෙවැන්න, පවුලේ මාසික ආදායම රුපියල් 70,000ට අඩු සැබෑ දිළිඳු පවුල් සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩිහිටි නිවස්නද සමග ශක්තිමත් සමාජ රක්ෂණයක් ක්‍රියාත්මක කිරීමය.
එම නව ජාතික ආර්ථික ආකෘතියෙහි
· ග්‍රාමීය ආර්ථිකය රැකියා උත්පාදනයක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීම වෙනුවෙන් මැනවින් සැළසුම් කරනු ලබන ක්ෂේත්‍ර සඳහා ආයෝජන යොමු කෙරෙන්නේය.
· ආනයන හා අපනයන වෙළඳාම ජාතික අවශ්‍යතා වෙනුවෙන් නියාමනය කෙරෙන්නේය
· අපනයන නිෂ්පාදන ශක්‍යතාවක් ඇති දේශීය සමාගම් සඳහා ජාත්‍යන්තර හා කලාපීය වෙළඳපලට ඇතුල්විය හැකිවන ලෙස විශේෂ සහන ලබාදීම
· විධිමත් අධ්‍යාපනය, සෞඛ්‍ය හා මගී ප්‍රවාහනය ආණ්ඩු සතු සමාජ වගකීම් ලෙස පිළිගනිමින් එම සේවා සැළසුම් කිරීමේ ජාතික ප්‍රතිපත්තීන් වෙනුවන් ධවල පත්‍රිකා සකස් කිරීම
අධ්‍යාපනය – නිදහස් අධ්‍යාපනය දිළිඳු සහනලාභී පවුල් වලට සීමා කෙරෙන්නකි. සෙසු පවුල්වල දරුවන්ගෙන් පවුලේ ආදායම අනුව පාසල් ගාස්තු අය කරනු ලැබේ. පාසල් ප්‍රවාහන සේවා දිස්ත්‍රික්කය ඇතුළත ප්‍රවාහනයට සීමා කෙරෙන්නේය. ගුරු සේවයට බඳවා ගැනීම උපාධියක් සහිත, වසරක විශේෂ පුහුණුවක් ලැබූවන්ට සීමා කෙරෙන හා ආකල්පමය වශයෙන් දියුණු වෘත්තියක් බවට පත් කෙරෙන්නේය. ඒ අනුව ගුරු වැටුප රජයේ වෛද්‍යවරුන්ගේ වැටුපට සමාන කෙරෙන්නේය. විෂයමාලා හා පාඨමාලා ගැන සාකච්ඡාව ඒ අනුව කෙරෙන්නකි.
සෞඛ්‍යය – ජාතික සෞඛ්‍ය සේවාව රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් මිස ප්‍රතිකාරක කටයුතු ප්‍රධාන වූ සේවාවක් නොවනු ඇත. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණුව නවීකරණය කෙරෙන හා ඊට සරිලන වෘත්තීය වැටුපක් සහිත සේවාවන් බවට ප්‍රතිසංවිධානය කෙරෙන්නේය. රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික සායනවල හා පෞද්ගලික රෝහල්වල සේවය කරන කාල සටහන තමන්ගේ සේවා ප්‍රධානියාට මාසිකව බාර දී ප්‍රසිද්ධ කළ යුතු අතර, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල සායන පවත්වන කාල වේලා එම රෝහල්වල වෙබ් අඩවි වල ප්‍රසිද්ධ කළ යුතු වන්නේය.
පොදු මගී සේවා – ලංගම හා දුම්රිය සේවා මගී පහසුව අරමුණු කෙරෙන ලෙස සැළසුම් කෙරෙන්නකි. ගාස්තු අය කිරීම සිදුවිය යුත්තේද සේවා නඩත්තුව සැළකිල්ලට ගැනීමෙනි. පෞද්ගලික ප්‍රවාහනය වෙනුවෙන් වාහන ආනයනය ඉදිරි වසර 05 සඳහා අත්හිටුවනු ඇත.
එවැනි නව ජාතික ආර්ථික ආකෘතියක ආරම්භක කෙටි කාලීන යෝජනා කිහිපය වන්නේ,
- ආරම්භයේදී පැය 08 ක වැඩ දිනයක් හා දින 05 ක සතියක් වෙනුවෙන් අතිකාල හෝ වෙනත් ආදායම් මාර්ග සොයන්නට අවශ්‍ය නොවන හා විවේකය සඳහා අතිරික්ත මුදලක්ද ඉතිරිවන ජීවත්වීමේ අවම ජාතික දෛනික වැටුප රුපියල් 3,500 ක් හා අවම මාසික වැටුප රුපියල් 70,000 ක් ලෙස තීන්දු කිරීම
- සමෘද්ධි, අස්වැසුම වැනි දිළිඳුකම තුරන් කිරීමට යැයි පිහිටුවා ඇති කිසිදු අර්ථයක් අවසානයක් නොමැති පුණ්‍යාධාර ක්‍රම අහෝසිකර, ග්‍රාම සේවා වසම් අනුව විවෘතව තෝරා ගන්නා දිළිඳු පවුල් සඳහා ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 70,000 ක් දක්වා ඉහළ දැමීමට දිළිඳු සහන දීමනාවක් වසර 03 ට ලබාදී, ඔවුන් ස්වයං රැකියාවක් කිරීමට කැමැත්තක් ඇති ක්ෂේත්‍රයක් සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීම
- එවැනි දිළිඳු පවුල්වල පාසල් දරුවන්ට නිල ඇඳුම්, පොත් පත්, පාසල් ප්‍රවාහනය නොමිලේ ලබා දීම සහ එවැනි පවුල්වල විශ්ව විද්‍යාල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට මහපොල ශිෂ්‍යත්වය දෙගුණ කිරීම
මගේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලෙහි මේ දළ සම්පිණ්ඩනයකි. එය ඉදිරි මාස කිහිපයේ සමාජ සංවාද ඔස්සේ දියුණු කිරීම උදෙසා සමාජගත කෙරෙන්නකි. එවැනි සංවර්ධනයක් සඳහා ජනාධිපතිවරයෙකු සමග ආණ්ඩුවක් පත්කර ගැනීමට ඡන්දදායකයින් සූදානම් විය යුතු යැයි මා කියන්නේ, වේදිකා සරසණ කතිකයින්ගෙන් රටක් සංවර්ධනය කළ නොහැකි හෙයිනි.
කුසල් පෙරේරා
2024 අප්‍රේල් 22