Politics
ජාත්‍යන්තරය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.
මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.
ණය අර්බුදය, තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම ප්‍රමාද වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ඇතුළුව පශ්චාත් කොවිඩ් වසංගත යුගය විසින් එල්ල කර ඇති අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. එක්සත් ජනපදය සහ චීනය අතර වන එදිරිවාදිකම් හේතුවෙන් පැන නගින සංකීර්ණත්වය සහ එමඟින් ගෝලීය භූ දේශපාලනය කෙරෙහි ඇතිවන බලපෑම ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේ පවතින තත්ත්වය “ගෝලීය බහු-අර්බුදයේ භූ දේශපාලනය” ලෙස හැඳින්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොඩිඩ් 19 වසංගතය, ණය අර්බුද, දේශගුණික විපර්යාස, වෙළඳ ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු මේ සියල්ල එකිනෙකට සම්බන්ධිතව පවතින අභියෝග වන බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවේශය ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම සමඟ සමපාත වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාගර දෙකක් ලෙස එම එක් එක් සාගරයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍යතා පවතින බව ද අවධාරණය කළේය.
චීනය, ආසියා – පැසිෆික් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන බවත්, එක් තීරයක් – එක් මාවතක් සංකල්පය මඟින් පැසිෆික් සාගරයත් ඉන්දියන් සාගරයත් සම්බන්ධ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සියලු තත්ත්වයන් හමුවේ වූවද මහා බල එදිරිවාදිකම්වලින් තොර අවකාශයක් ලෙස ඉන්දියන් සාගරය පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අප්‍රිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා නිවර්තන කලාපය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය. මෙම කරුණු සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ඇති කරගන්නා සහයෝගීතාවයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය වෙළඳ ක්‍රමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පෙර ජාතීන් අතර සම්මුතියක අවශ්‍යතාවයද අවධාරණය කළේය.
ගාසා තීරයේ පවතින යුද්ධය පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමාස් සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පමණක් ගැටුම් අවසන් කළ නොහැකි බවත් තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත එපෙක් (APEC) රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර සිදු වීමට නියමිත හමුව මඟින් පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ගෝලීය වශයෙන් පවතින මෙම සංකීර්ණතාවන් හරහා ගමන් කිරීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Hot News
කොළඹ විශ්වවිද්‍යාලයේ AI මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.
“උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිණිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවයක් තිබුණා.
එසේම 1968 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා.
ඉන් පසුව එතුමා විටින් විට මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.
මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න අමාත්‍යවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා.
මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ එම කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩකොටසක් සිදුකළා වගේම පරිගණක මධ්‍යස්ථානය ද ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ලැදියාවක් දැක්වුවා.
උපාලි විජේසුන්දර මහත්මයාගේ මරණයෙන් පසු කැළණිය රජමහා විහාරයේ නිළමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත්වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයෙක් ලෙස එතුමා සමග වැඩ කටයුතු කළා.
ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකුම මෙම සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතා ද ඝාතනය කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මෙම සමයේදි ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාලි ගිහින් නීති කැඩු විට අද මෙන් ඊට අදාළ පියවර ගැනිම පමණයි. ඒ මිස වෙන දෙයක් කළේ නැහැ. මෙම ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබා ගත යුතුයි.
ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා.
පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. නමුත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිව්වා මේක ශිෂ්‍ය වැඩකටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.
ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා. එතුමාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස්වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. නමුත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා.
අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.
එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.
සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.
හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.
ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා.
Politics
කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරග කරනවා – පලනි දිගම්බරම්

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (10) දින හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.
මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ,
ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා,
රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩි ,
ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා,
ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා,
පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කලා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බැ , පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැ ,
කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා , ඔහු ජයග්‍රහණය කරනවා ,
මේ පාර ජන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා , ගියා පාර වගේ ජාති වාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බැ , සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා , එතකොට සුළු පක්ෂ වල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ , සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග,
වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම් වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලඥයින් කියනවා , වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නැ කියලා ඔවුන් කියනවා,
මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විදින පිරිසක් , ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි, එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් යනුවෙන් පැවසිය.
( හැටන් රංජිත් රාජපක්ෂ)
Politics
උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රැසක් – අධ්‍යාපන ඇමති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්විය. මෙහිදී උපාධි අපේක්ෂකයින් 97දෙනෙකුට උපාධිය පිරිණමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්, ශාස්ත්‍රපති උපාධිධාරීන් 48ක් සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර විදේශීය සිසුන් 06දෙනෙක් ද වූහ.
මෙවර අයවැයෙන් සියලු පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන අට දහසක් වෙන්ව ඇති බවද විවිධ හේතූන් මත වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ ක්‍රියාවලින් රැසක් අදියරෙන් අදියර ක්‍රියාවට නැංවීමට තමා සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යංශයත් රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලමත් එක්ව ජාත්‍යන්තරව පිළිගත් ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින විශ්ව විද්‍යාල සමග ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් පසුගියදා මෙරට විද්‍යාර්ථීන් වෙනුවෙන් මෙතෙක් පිරිනැමූ ආචාර්ය උපාධි සංඛ්‍යාව හතළිහක් දක්වා ඉහල නැංවීමටද පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලින් 2028 වර්ෂයේදී නිකුත් වීමට නියමිතව සිටින 2024 වර්ෂයේ බඳවාගන්නා ශික්‍ෂණ ලාභීන් අධ්‍යාපනවේදී උපාධිධාරින් ලෙස අධ්‍යාපන පද්ධතියට මුදා හැරෙන බවත් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. දරුවන් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය වසරකින් අඩුකිරීමටත් එමගින් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගැනීමට අඩු වයස් කාලයක් තුළ ඉඩ ප්‍රස්තා ලබාදිය හැකි බවත් දියුණු රටවල දරුවන් උපාධිලාභීන් ලෙස සරසවි වලින් නිකුත් වන විට අපේ දරුවන් උසස් පෙළ පළමු වසරෙහි සිටින තත්ත්වයක් දැනට පවතින බවත් එම වෙනස ඉවත් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
එමෙන්ම දරුවන්ගේ විභාගවල බර අඩු කිරීමට පියවර ගන්නා බවත් පෙර පාසල් මට්ටමේ සිට මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් රැසක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහාත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය සඳහාත් වෙන් වෙන් වශයෙන් කොමිසන් සභා පත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඒවායේ ගුණාත්මක භාවය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලබන බවත් මීට අදාළ පනත් මේ වන විටත් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ගුණාත්මක සංවර්ධන මට්ටමකට පත් කිරීම තම අපේක්ෂාව බවද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉතා කෙටිකලක් තුළ ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය ගොඩනංවා වර්තමානයේ ඉතා කීර්තිමත් අධ්‍යන ආයතනයක් බවට පත්කිරීම පිළිබඳවද අමාත්‍යවරයා සිය ප්‍රශංසාව මෙහිදී පුද කර සිටියේය.
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්