Politics

ජෝන් සීනාට දෙන ප්‍රසිද්ධිය රටේ ගොවි තරුණයන්ට දෙන්නේ නෑ – මහින්ද අමරවීර

කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම තුළ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රන්මිණිතැන්න ප්‍රදේශයේ අක්කර 06ක පමණ ඉතාමත් සාර්ථකව වගා කර ඇති එළවළු වගාවක් පසුගියදා (17) නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

තුඹ කරවිල වගාවෙන් තම වගා කටයුතු ආරම්භ කළ මෙම ගොවි මහතා ඉන් රුපියල් මිලියන ගණනක ආදායමක් උපයා තිබේ.

ඉන් අනතුරුව එළවළු වගාවට යොමු වූ ඔහු මේ වනවිට උඩරට හා පහතරට එළවළු දෙවර්ගයම තම ගොවිපළේ සාර්ථකව වගා කිරීම ආරම්භ කර තිබේ.

නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කරමින් එලවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිත කරමින් ඔහු පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බව ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

අද අප රටේ තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් තිබෙනවා. විශේෂයෙන් වර්තමානයේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග තරුණ ආකර්ෂණය ඉහළ ගොස් තිබෙනවා. රැකියා විරහිතව සිටින වගා කිරීමට කැමැති සෑම තරුණයෙකුටම රුපියල් මිලියනයක් බැගින් ලබා දී ඔවුන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා උදව් උපකාර කිරීමේ වැඩ සටහනක් මම ඉදිරියේ දී රජයට යෝජනා කරනවා.

අපි ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යහ කෘෂි පුරුදු (GAP- Good Agricultural Practices) , මෙන්ම තම නිෂ්පාදන අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙඳපළ ද සොයා දෙනවා. ඒ වගේම හැකි තරම් අපනයනය ඉලක්ක කර ගත් වගාවන් කෙරෙහි තරුණ ප්‍රජාව අපි යොමු කරවනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මගින් තරුණ ප්‍රජාව නැවත රජයේ රැකියා සොයා දේශපාලනඥයින් පසුපස යන යුගය අපි අහෝසි කරනවා.

පුලියන්කුලමේ බන්දුල අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් මිලියන 12ක ආදායමක් මාස නවයක් තුළ ඉපයුවා. ඒ වගේම තිරප්පනේ බුද්ධික අක්කරයක කොමඩු වගා කර මාස හයක් තුළ රුපියල් ලක්ෂ 40ක් ආදායම් උපයා තිබෙනවා. තිරප්පනේ තවත් තරුණයෙක් මුං ඇට වගා කිරීම මගින් දවස් හතළිස් පහක් තුළ රුපියල් ලක්ෂ 11ක් හෙව්වා.

දැන් අපේ වී ගොවියෝ හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 12-14 ලබා ගන්න තත්ත්වයට පත්වී තිබෙනවා. හම්බන්තොට තවත් ගොවියෙක් බඩඉරිඟු කිරි කරල් වශයෙන් සපයා රුපියල් ලක්ෂ 12ක ආදායමක් උපයා තීබෙනවා.

අපිට අවශ්‍ය මෙවැනි තරුණ පරම්පරාවක් රට තුළ බීහිකිරීම. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම තුළ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක්. අපිට අවශ්‍ය තුඹයා වැනි තරුණ පරපුරක්.

මම පසුගිය සතියේ නිල් කට්රොළු මල් අපනයනය සඳහා වගා කරන පිරිසක් මුන ගැසුනා. ඒ ප්‍රවෘත්තිය ඇතැම් නාලිකාවල වගේම පුවත්පත්වලත් වාර්තා වුනා. කැළේ නිකම්ම වැවුන නිල් කට්රොල් මල් වගාව දැන් රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක්.

නමුත් සමහර නාළිකාවල හා පුවත්පත්වල එම පුවතට ප්‍රමුඛත්වය ලබා දි තිබුනේ නෑ. ඊට වඩා ප්‍රචාරයක් ජෝන් සීනා නිරූවතින් ඔස්කාර් සම්මාන උළෙලට ආපු එක ගැන දී තිබුනා. ජොන් සීනාගේ නිරුවතට දෙන තැන අද අපේ රටේ ඇතැම් මාධ්‍යවල සංවර්ධන ප්‍රවෘත්තිවලට දෙන්නේ නැහැයි ද අමාත්‍යවරයා පැවසීය.

අපිට අවශ්‍ය මෙවැනි තරුණ පරම්පරාවක් රට තුළ බීහිකිරීම බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version