මීට වසර දෙකකට පෙර රටට අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වුව ද, මේ වනවිට මුලු රටේම ජනතාවට අපේ ගොවි ජනතාව නිෂ්පාදනය කළ සහල්, කුකුළු මස් හා බිත්තර පාරිභෝජනය කිරීමට අවශ්‍ය තරම් නිෂ්පාදනය කිරීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දෙබරවැව මහා විද්‍යාලයේ දී පැවති දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී දෙබරවැවට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම මෙන්ම ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය කිරීම හා දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා-
2022 දී මෙරට ජනතාවට කන්න දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රජයට වැය කරන්න සිදු වුනා. නමුත් 2023 දී අපි රටට අවශ්‍ය සම්පුර්ණ සහල් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් මිලියන 2.5ක් නිෂ්පාදනය කළා.ඒ වගේම 2024 වර්ෂයේදීත් අපි සහල් මෙට්‍රික් ටොන් මිලියන 03ක් නිපදවනවා. මෙමගින් සහල් ආනයනය සඳහා වැය කිරිමට සිදුවන ඩොලර් මිලියන 650ක් පමණ අපිට ඉතිරි කර ගැනීමට හැකිවෙනවා.මින් ඉදිරියට නැවත මෙරටට සහල් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය සහල් අපේ රටේම නිපදවා ගැනීමට හැකි නොනවතින වැඩපිළිවෙළක් මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් හදලා තියෙනවා.ඒ වගේම දැන් මේ මුළු රටම පාරිභෝජනය කරන්නේ අපේ රටේම නිපදවන ලද කුකුළු මස් හා බිත්තරයි. 2024 වර්ෂයේ සමස්ත කුකුළු මස් නිෂ්පාදනය කිලෝ මිලියන 269ක් ඉක්මවා යා හැකියි. . මින් පෙර කිසිදු අවස්ථාවක මේ තරම් විශාල ලෙස කුකුළු මස් නිෂ්පාදනය කර නැහැ. මේ නිසා රුපියල් 1700ක් පමණ වූ කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 1000ක සීමාවට ගෙන එන්නට අපිට හැකි වුනා. බිත්තරයක් රුපියල් 50ක් පමණ වුවත් දැන් අපිට අවශ්‍ය සමස්ත බිත්තර ප්‍රමාණය අපේ රටේම නිපදවා තිබෙනවා.
අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ අපිට මේ ජයග්‍රහණ ලබා ගත හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ලබා දුන් මඟ පෙන්වීම අනුවයි. ජනාධිපතිතුමන්ගේ දුරදර්ශි නායකත්වය නිසා අද මේ රටේ ආර්ථික ගමන නිවැරදි මාවතට වැටී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.