Hot News

නුවරඑළියේ යකා නැටූ ජීවන් තොන්ඩමන්

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් නුවරඑළිය නගරයේ තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශය තුළ ඇති වූ තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබුණා.

ඊයේ පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී පීඩෲ වතු යායේ වතු අධිකාරී අනුර වීරකොන්ට ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් පහරදී ඇති බවයි කියන්නේ.

පහරකෑමට ලක්වූ වතු අධිකාරී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වෙනවා. ඊට සුළු මොහොතකට පසු පොලිස් ස්ථානයට කඩා වැදී ඇති ඇමතිවරයා පැමිණිල්ල සටහන් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බැනවැදී තිබෙනවා.

අනතුරුව අදාළ වතු සමාගම් කාර්යාලය වෙත කඩා පැන ඇති ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පහරකෑමට ලක්වූ වතු සමාගමේ ප්‍රධානියා සොයමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද වාර්තා වෙනවා. මෙම තත්වය පාලනය කර ප්‍රදේශය තුළ සාමය පවත්වා ගැනීම සඳහා වහාම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට නියෝගකර තිබෙන බවයි කියන්නේ.

ඇමතිවරයා විසින් මෙහෙයවන වතු කම්කරුවන් විසින් පහර කෑමට ලක්වූ වතු අධිකාරී අනුර වීරකොන් ඇතුළු පාලන අධිකාරිය කාර්යාල අඩස්සියේ තබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version