Connect with us

Article

ප්‍රභූ දේශපාලක බොරු වලකින් ගොඩ ආ නිර්ප්‍රභූ රන්ජා – (තිලක් සේනාසිංහ)

මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ජනප්‍රිය

නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ ආන්දෝලනාත්මක නඩු විභාගය වසර13 කට පසු ඉකුත් 12 දා නිමාවට පත් විය. ඒ ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමිනි. ඔහු එලෙස නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක නියෝග කොට තිබිණ.

මෙම නඩුවට නිමිත්ත වූයේ රන්ජන් රාමනායක තමන් විවාහ කරගන්නා බවට පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බවට ඉහත කී කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකි.

රන්ජන් රාමනායක තම පෙම්වතා වේශයෙන් පෙනී සිටිමින් විවාහ වන බවට දිවුරා තම මුදල් වංචා කළ බවක් පවසමින් නාමල් විජේරත්න නමින් පෙනී සිටි එම පාසල් ගුරුවරිය කාන්තාවකට මුහුණ දීමට සිදු වන අසාධාරණයකට ලක් නොවූ අහිංසකාවියක නොවන බව මෙම නඩුව විභාග වන අතරතුර සනාථ විය.

සිය හරි නම පවා අධිකරණය හමුවේ ඔප්පු කරන්නට නොහැකි වීමෙන් 2017 දී අත්අඩංගුවට පත් වූ ඇය, කාලයක් ඇප නොලබා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටියා ය. 1956 උපත ලද උදයංගනී දයානී අශෝකමාලී නමිනුත් 1958 දී උපත ලද අශෝකමාලී වින්ද්‍යානි නමිනුත් 1968 උපත ලද නාමල් විජේරත්න යන නමිනුත් නම් තුනකින් පෙනී සිටි මෙම කාන්තාව සතුව උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් තුන බැගින් තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය විය. එබැවින් මහනුවර වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව ඇය මෙම නඩු විභාගය අතරතුර අත්අඩංගුවට ද පත් වූවා ය. 

එමෙන්ම එම කාන්තාව ගුරුවරියක ලෙස පෙනී සිට ඇත්තේ ද 1968 උප්පැන්නය අනුව යමිනි. එයට අනුව ඇගේ සැබෑ වයස අවුරුදු දොලහකින් අඩු කරගෙන තිබිණ. මේ හේතුවෙන් වසර 22 ක් තිස්සේ කූඨ ලේඛන ඉදිරිපත් කර රජයේ සේවයේ නියැලීම හා වේතන ලබාගැනීම නිසා ද ඇයට චෝදනා එල්ල විය.

රන්ජන් රාමනායක තමාගේ පෙම්වතා ලෙස සිටි බව කියූ මේ ගුරුවරිය ඔහු තමා විවාහ කරගන්නා බවට පොරොන්දු දී ලක්ෂ 10ක මුදලක් ඉල්ලාගත් බවත් එය නැවත නොදී වංචා කළ බවත් පවසා මුලින්ම මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළේ 2010 ජනපතිවරණ සමය ආසන්නයේ දීය. එය රන්ජන් රාමනායකගේ දේශපාලන පන්නරය හොඳින්ම කැපී පෙනුණු යුගයකි. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රාමනායක එවක විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේ ය.

රංජන්ගේ පෙම්වතිය තමන් යයි නීතිය හමුවේ පවසා සිටි මේ කාන්තාව තමා දිගු කලෙක පටන් රංජන් හා විවාහවීමේ අදහසින් ආශ්‍රය කළ බවත් එම විවාහ පොරොන්දුව කඩ නොකරන බවට රංජන් දිවුරා කියා සිටි බවත් කියා තිබුණි. කෙසේ වෙතත් තමාට කිසි දිනක මේ කාන්තාව හමු නොවූ බවත් තම රසිකාවියක ලෙස ලබා දුන් ඇමතුමකට අනුව ඇය සමඟ දුරකතනයෙන් කතා කළ බවත් රන්ජන් පවසා තිබිණ. සිනමා නළු උන්මාදයෙන් පෙළෙන මේ වැනි රසිකාවන් තමාට ඕනෑ තරම් හමුවී ඔවුනට විවාහ පොරොන්දු දීමට තරම් මානසික ව්‍යාධියක් තමන්ට නොමැති බවත් කී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර නියෝජනය කළ දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ඇමතිවරයකුගේ තොරොට්ටුවක් මත මෙම නඩුව දිගින් දිගට ඇදෙමින් තමාට මඩ ගැසීමට භාවිතා කළ බවය.

මුලින්ම එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල මත, අපරාධ විමර්ශෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත නිදහස් කොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරි පත් කරන ලදී. කෙසේ නමුදු ඔහු ගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චෝදනාව එල්ල කළ ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කළ පොලිස් පරීක්ෂණ මගින් ද අවසානයේ තහවුරු විය. නමුදු මෙම නඩුවට මුහුණ දීම සඳහා ගත වූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය වූ බවත් තම විදේශ ගමන් කිහිපයකට ද ඉන් බාධා එල්ල වූ බවත් පසුගිය දා නිදහස් වීමෙන් පසු රන්ජන් මාධ්‍යයට කීය.

රන්ජන් රාමනායක යනු නූතන දේශපාලන සේම සමාජ කරලියේ ද දක්නට ලැබෙන අමුතුම මාදිලියේ චරිතයකි. ගත වූ කාලය තුළ ඔහු ගේ දේශපාලන භාවිතාවෙන් පෙනී යනුයේ ඔහු නිර්ප්‍රභූ දේශපාලනය මාධ්‍ය කර ගනිමින් තම ගමන් මඟ සකසා ගෙන තිබූ බවකි. මේ වන විට අප සමාජයේ මුල් බැස ගත් ප්‍රභූ දේශපාලන තුළ “දුප්පතා ගේ හිතවතා” යන ජනප්‍රිය භූමිකාවක් ද තිබේ. දේශපාලනයේ යෙදෙන අතරේ ගම් දනව් පුරා යමින් අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීම මෙම “දුප්පතා ගේ හිතවතා” ප්‍රභූ දේශපාලන අංගයේ දී හොඳින්ම කැපී පෙනෙයි.

එමෙන්ම ඔවුහු කිසි විටෙකත් තම වත් පොහොසත්කම් පිළිබඳව හෝ එසේ ජනතාවට සහන සළසන්නට තමනට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ජනතාවට නොකියති. එහෙත්, රන්ජන් රාමනායක එසේ නොවේ. තමන් මිල මුදල් පරිභෝජනය කළ ද පෞද්ගලික වශයෙන් තමන් සතුව කිසිදු ධන සම්පතක් නොමැති බව ප්‍රසිද්ධියේම කියා සිටින්නෙකි.

එපමණක් නොවේ. එලෙස තමන් සතුව කිනම් හෝ වත් පොහොසත් කමක් තිබේ නම් එය ඔප්පු කර පෙන්වන මෙන් ප්‍රසිද්ධියේ අභියෝග කරන්නෙකි.

එමෙන්ම ඔහු ජනතාව අතරේ කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙනුයේ ද කිවහොත් ජන මාධ්‍ය කරුවන් සමඟ කරන කතා බහ වල දී ඔහු තරම් “මල්ලී” යනුවෙන් මාධ්‍ය කරුවන් අමතන දේශපාලනඥයකු කට වහරට අනුව කිවහොත් මේ තුන් ලෝකයේම නැති තරම් ය. එමෙන්ම වත්මන් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යනුවෙන් කළ සරල ප්‍රකාශනය තුළ ගැබ් වුණු දේශපාලන යථාර්ථය කෙතරම් ජන ගත වී තිබේ ද යත් “උන් ඔක්කොම යාලුවො මල්ලි” යන්න සඳහන් ත්‍රිරෝද රථ ද පාරේ දිවෙනු දක්නට පුළුවන.

රන්ජන් ගේ මෙම නිර්ප්‍රභූ දේශපාලනය පෙරදිග: විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සංස්කෘතිකාංගයකි. ඒ බව බොලිවුඩ් කොලිවුඩ් ආදී නම් වලින් හැඳින්වෙන ඉන්දීක සිනමා කෘති වලින් ද පැහැදිලි වේ. රන්ජන් තුළ මේ නිර්ප්‍රභූ “දේශපාලන උණ” කෙතරම් උග්‍රව තිබිණි ද යන්න වත්මන් දේශපාලන ක්‍රමය කුරිරු උපහාසයට ලක් කරන පාර්ලිමන්ට් ජෝක්ස් සේම දිළින්ඳන් අතුරින් මතු වන ජනතා වීරයා ගේ භූමිකාව නියෝජනය කරන රන්ජා වන් ෂොට් ආදී චිත්‍රපට වලින් පැහැදිලි වේ. එම චිත්‍රපට වල අධ්‍යක්ෂණය සේම ප්‍රධාන නලුවා ද රන්ජන් ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරක් කිසියම් විපක්ෂ දේශපාලනඥයකු තමන් නන්දසේන යන නමින් ඇමතීම පිළිබඳව මාධ්‍ය මඟින් ඔහුට අනතුරු හැඟවීමක් කළ අයුරු අපට මතක ය. ඒ එමඟින් තමන්ට මදි පුංචි කමක් වී ඇතැයි සිතමිනි. එහෙත් ගෝඨාභය ගේ උප්පැන්නයේ සඳහන් නම ද ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ය. නමුත් රන්ජන් යන නම අදත් ඔහුගේ හිත මිතුරන් බොහෝ දෙනකු උසුරුවනුයේ රන්ජා යනුවෙනි. නමුත් ඔහු ඒ නමට කොතෙක් ඇළුම් කරන ලද්දේ ද යන්න එනමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කිරීමෙන්ම පැහැදිලි වේ.

මෙය ප්‍රභූ දේශපාලන සහ නිර්ප්‍රභූ දේශපාලන වෙන් කොට ගත හැකි නිර්නායකයක් නොවේ. එහෙත් යමකුට ඒ සම්බන්ධයෙන් මූලික දිශානතියක් පෙන්ව මං සළකුණකි. රන්ජන් ගේ මාදිලියේම නිර්ප්‍රභූ දේශපාලනය ප්‍රායෝගික තලයට ගෙනා තවත් සුවිශේෂ චරිතයක් වූයේ පසුගිය දිනයෙක හදිසි අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ය. ජනතාවට අත් වන දුක් පීඩා හමුවේ හැඳිවත පවා අමතක කොට ඒ වෙනුවෙන් සටන් කරන ඔහු ගේ එම ජනතා සහනාධාර වැඩ සටහන තමන් ද ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කළ බව පාලිත තෙවරප්පෙරුම ගේ අවමඟුලේ දී රන්ජන් කීය. එය ද නිර්ප්‍රභූ දේශපාලනයට ආවේණික අව්‍යාජත්වය එළිපිට කියා පෑමකි.

තම හිත මිතුරන්ට දිරච්ච ලනු දීම සම්බන්ධ ආචාර්ය උපාධි සුදුසුකම් හිමි කර ගත හැකි නම් රන්ජන් එවැනි උපාධි එකක් නොව දෙක තුනක්ම ලබා ගන්නා බවට පුද්ගලිකව සහතික වීමට මට පුළුවන. එහෙත්, විස්මයට කරුණ එය නොවේ. ඉහත සඳහන් චෝදනාවට මුල් වූ තොරොට්ටු සහිත ප්‍රභූ දේශපාලනයේ ජඩ බව පිළිබඳ හෝඩිය වත් රන්ජන් නොදැන සිටීම ය. ඒ බවට ද ඉහත සඳහන් පරිද්දෙන්ම පෞද්ගලිකව සහතික වන්නට මට පුළුවන.

නමුත් රන්ජන් ගේ දේශපාලන මාදිලිය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ද තිබේ. එනම් වත්මන් දේශපාලනය තුළ පවත්නා ප්‍රභු දේශපාලන සංස්කෘතිය අබිබවා රන්ජන් නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනයට තැනක් හිමි වන බවක් නොපෙනීම ය. නමුත් එනිසාම “අනේ ඒකට ඉතින් අපි මොනවා කරන්නද?” යනුවෙන් කර බා ගෙන හිඳින්නට කිසිවකුටත් නොපුළුවන. ඒ ජනතා පරමාධිපත්‍යය කියා දෙයක් තවමත් මේ රට තුළ ඇති බැවිනි.

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී

(උපුටා ගැනීම- vinivida.lk)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

“තුනෙන් දෙක” ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ – (කුසල් පෙරේරා)

වික්‍රමසිංහ ආණ්ඩුව විධායක ශ්‍රේණයට වැඩි කළ රුපියල් 25,000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සේවාවටම ඉල්ලා වෘත්තීය සමිති දුසිම් කිහිපයක් පසුගිය සතියේ දෙදිනක වර්ජනයක් දියත් කළහ. 

ඒ වනවිට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් “ඉතිරි තුනෙන් දෙක” ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. රුපියල් 25,000 සටනින් ගුරු – විදුහල්පති තුනෙන් දෙකේ සටන මුළුමනින් සෝදා පාලුවට ගියේය. අවසානයේ කිසිවකුට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබුණු සටන් ලෙස සියලු උද්ඝෝෂණ හැකිලින. ගුරු සංගම් නායකයින් කියන්නේ ඔවුන් ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් නොවේ යැයි කියා ය. ඔවුන් විසඳුම් සඳහා ඉල්ලන “සුභෝධිනි වාර්තාවේ” වැටුප් නිර්දේශ වලින් තුනෙන් පංගුවක් 2022 ජනවාරියේ සිට ඔවුන්ට ලැබේ. දැන් ඉල්ලන්නේ තුනෙන් ඉතිරි දෙක ය. 

මේ අවුල් ආරම්භ වන්නේ 1994 නොවැම්බර ජනාධිපතිවරණයේදී අපේක්ෂිකාවන් දෙදෙනා අතර තිබූ තරගයේදී වාසි ගැනීමට සිතා හදිසියේ පිහිටවු ගුරු සේවය හේතුවෙනි. ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් දෙවරකට ගොනු කෙරුණි. පළමුවැන්න විදුහල්පති සේවාවට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත විදුහල්පති සේවයේ වැටුප් වැඩි කරන්නට සිදු වූයෙන් එය තවත් අවුලකට හේතු විය. ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයට සිදුවූ අසාධාරණකම් හේතුවෙන් ඔවුහුද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා වලට 1995 බී.සී. පෙරේරා වාර්තාවේ නිර්දේශද හේතු වූයෙන් 2006 දී සම්මත කෙරුණ රජයේ සේවාවේ සියලු ශ්‍රේණි සහ තනතුරු ආවරණය කෙරෙන “ජාතික වැටුප් ප්‍රතිපත්තිය” මගින් එය අවලංගු කෙරුණි. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවය සඳහා වන වැටුප් සංශෝධනයක් 2006 අප්‍රේල් 25 වන දින රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 6/2006 මගින් ක්‍රියාත්මක කෙරුණි. විෂමතා ගැන කතා කරන්නට බී.සී. පෙරේරා නිර්දේශ පදනම් වූ සුභෝධිනි වාර්තාවද දැන් අදාල නැත. දැන් අවශ්‍ය වන්නේ වල් වැදුණු, විනාශ වන පාසල් අධ්‍යාපනය ගොඩ ගැනීමට විසඳුම් සාකච්ඡා කිරීම ය.

ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු සාධක කිහිපයක් ඇත. පාසලේ සිසු සංඛ්‍යාව හා පහසුකම් සම්බන්ධ සාධකය ඉන් ප්‍රධාන වන්නකි. ගුරු මණ්ඩලයේ සංයුතිය සහ සුදුසුකම් දෙවැන්න ය. විදුහල්පති වගකීමට යටත් පාසල් පරිපාලනය තවකකි. දෙමාපිය සහයෝගයේ ස්වරූපයද එවගේම වැදගත් වන්නකි. එවැන්නක් ගැන සිතන්නවත් නොහැකි, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලොකු බලපෑම් සමග ප්‍රධාන නගරවල නඩත්තු වන අති ජනප්‍රිය යෝධ පාසල් සමූහයක් ඇත. ළමුන් හය හත්දායක් ඉන්න, ගුරු මණ්ඩලයේ දෙතුන් සීයක් ඉන්න ඒවායේ විදුහල්පති සහ ගුරු මණ්ඩල අතර හෝ අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වා ගැනීම උගහටය. වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි දෙමාපියන් සමග යහපත් නිරන්තර සහසම්බන්ධයක් පවත්වා ගැනීමට ගුරු මණ්ඩලයට නොහැකිය. ඒවා පැවැත්මෙන් හා සංඛ්‍යාත්මකව බරවා රෝගී පාසල්ය.

ළමුන්ගේ දැනුම, සමාජ අවබෝධය හා කුසලතා වර්ධනය සමග පෞරුෂ වර්ධනය ගැන සැළකුවහොත් වඩාත් සාර්ථක අධ්‍යාපනයක් සඳහා පාසලක ළමුන් 1,000 ට වඩා නොසිටිය යුතුය. පළාත් පාලන ආයතන මගින් පාසල් පාලනය කෙරෙන්නේ නම් වඩාත් හොඳය. එවිට දෙමාපියන් පළාත් පාලන ආයතනයේ ඡන්දදායකයින් වීමත් වාසියකි. ඒ ප්‍රදේශයෙන්ම නැතිනම් ඒ දිස්ත්‍රික්කයෙන් ගුරුවරුන් පත්කර ගැනීමටද හැකිය. අපේ සමාජ සම්පත් හා වත්කම් තත්ත්වයන් අනුව, මා ගණන් බලන අයුරු, ගුරු දෙගුරු හවුලක් සමගින් වූ අධ්‍යාපනික ක්‍රියාවලියක් සඳහා පාසලක උපරිම වශයෙන් තබා ගත යුත්තේ ළමුන් 1,500 කි. ඒවායේ සංගීත, නැටුම්, චිත්‍ර, ශාරීරික අධ්‍යාපනය වැනි විශේෂ විෂයන් සඳහා වන ගුරු සංඛ්‍යාව අතහැර, පාසලේ ගුරු සංඛ්‍යාව විය යුත්තේ 60 ක් පමණය.  

එවැනි පාසල් කොපමණ තිබේද? ළමුන් 1,000 ත් 1,500 ත් අතර වන පාසල් ඇත්තේ 393 කි. ගුරුවර ගුරුවරියන් 25 ත් 50 ත් අතර සේවය කරන පාසල් ඇත්තේ 1,677 කි. මේ පාසල් වල තබා මීට වඩා කුඩා පාසල්වල පවා ඉගැන්වීම් හා ගුරු දෙගුරු සහසම්බන්ධයත් විදුහල්පතිගේ පාසල් පරිපාලනයත් ප්‍රායෝගිකව හා නිවැරදිව ඇගයීමට ලක් වන්නේ නැත. එබැවින් පවතින පාසල් අතුරින් වැදගත් අධ්‍යාපනයක් ඇති ආකෘතියක් සොයා ගත නොහැක. අනාගතය වෙනුවෙන් පාසල් පරිපාලනය, ගුරු වෘත්තිය සහ පාසල් විෂය ලේඛන සමග පාඨමාලා අලුතින්ම සකස් කර සංවිධානය කිරීම එබැවින් සමාජ අත්දැකීම් මත සාකච්ඡාමය ක්‍රියාවලියකින් සිදු විය යුත්තකි. එහිදී ගුරු සේවාව දුර දිග යන පරිවර්තනයකට බඳුන් කළ යුතු වන්නේය. දෛනික අත්දැකීම් අනුව, රාජ්‍ය සේවාවේ සියලු වෘත්තීන් අතුරින් වඩාත්ම දූෂිත නොවුනත් වඩාත්ම පිරිහුණු පසුගාමී සේවාව, වත්මන් ගුරු සේවාව වන්නේය.

හැම ක්ෂේත්‍රයකම, හැම වෘත්තියකම වැදගත් දායකත්වයක් ලබා දෙන, තම වගකීම් ඉටු කරන පුද්ගලයින් තවමත් ඉතිරිව ඇත. එළෙසින්ම, ගුරු විදුහල්පතිවරුන් අතරත් සේවයට කැපවුනු එවැන්නෝ තවමත් ඉන්නාහ. දක්ෂ ගුරුවරුන් වූවත් තම පාසලේ සිදුවන අසාධාරණ අකටයුතුකම් ගැන ඔවුන් කතා කරනවා ඇසෙන්නේ නැත. අධ්‍යාපනයේ බිඳ වැටීම ගැන හඬක් නොනගන ඔවුන්ගේ පුද්ගලික සේවා දායකත්වයෙන් අධ්‍යාපනයේ පිරිහීම නැවතිය නොහැකි බව අවධාරණය කළ යුත්තකි.

මේ අප ඉන්නේ හැම ක්ෂේත්‍රයකම කාර්යශූර, සේවයට කැපවුනු බහුතර සේවක පිරිස් සිටි 1950 – 60 දසක වල පැවති පරාර්ථකාමී සමාජයේ නොවේ. මේ 80 දසකයෙන් ආරම්භ වූ සිල්ලර අවශ්‍යතා තොරම්බල් කෙරුණු අතිශය හිස්, ආත්මාර්ථකාමී සමාජ පැවැත්මක් තරගෙට වැළඳගන්නා, කුහක සමාජයක් හැදුනාවූ යුගයකි. මෙය මහ ජාතිය, ආගම, කුලයද අත නොහැර වාහනයේ වර්ගය, ප්‍රමාණය, මිල මත සමාජ තත්ත්වය ගණන් හදන යුගයකි. මෙය නිවසෙහි කාමර ගණන, උඩුමහල් සංඛ්‍යාව, අඳින ඇඳුමේ මිල අනුව සමාජ පිළිගැනුම තීන්දු කෙරෙන යුගයකි. මෙය අවට සමාජයේ සියල්ලන්ට දැකිය හැකි ලෙස ඉදිරියෙන් සිටීම සඳහා පාරිභෝගික තරගයක හති ලමින් දුවන සමාජයකි. අසීමිත ආදායම් සොයන පාරිභෝගික ණයකාරයින් හදන ක්‍රෙඩිට් කාඩ් පත්, වාරික හා කල් බදු, බැංකු ණය සමගින් සුසුම්ලන සමාජයකි.

මේ සමාජයේ කඩා වැටීම, ආර්ථික පිරිහීම සමග සදාචාරය, විනය, සමාජ වටිනාකම් සහ හර පද්ධතීන්ද සෝදා පාලු වූ සමාජ පිරිහීමකි. ඒ හේතුවෙන් මුදල්මය දූෂණ වංචා වලට අමතරව, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය හා ලිංගික අතවර කිරීම්, ළමා අපචාර හා ලිංගික හිංසන, කප්පම් ගැනීම්, කොන්තරාත් මිනීමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සාමාන්‍ය ජන ජීවිතයේ අංග බවට පත්ව ඇත.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර මාසය අවසන් වන විට ඒ මාස 09 තුල බාල වයස්කාර ස්ත්‍රී දූෂණ සම්බන්ධව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබිණ. ඉන් 22 කු ගැබ් ගෙන තිබිණැයි වාර්තා විය. ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරයට 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ලැබී ඇත. ඉන් සියයට 41 ක් ලිංගික හිංසන සේ සළකනු ලැබිණ. කවුරුත් දන්නා පරිදි, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර ස්ත්‍රී දූෂණ, විශේෂයෙන් පාසල්වල සිදුවන ළමා අපචාර හා ශාරීරික හිංසන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවන්නේය. දකුණු ආසියානු රටවල ස්ත්‍රී සහ බාල වයස්කාර දරුවන් සම්බන්ධ දූෂණ හා අපචාර සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන “ඉක්වොලිටි නව්” සංවිධානය ගොනු කළ ලංකාවේ නිල දත්ත අනුව 2018 ස්ත්‍රී දූෂණ පැමිණිලි 1,792 ක්ද 2019 දී 1,779 ක්ද විය. එවගේම 2019 දී ළමා දූෂණ 1,490 ක්ද වාර්තාවී තිබිණ.

අප ගුරු වෘත්තිය ගැන කතා කරන්නේ අනෙකුත් අය මෙන්ම ගුරුවරුන්ද මේ දුෂ්ඨ, කුහක මහ ජාතිවාදී, ආගම්වාදී පිරිහුණු සමාජයෙහිම නිපැයුම් බැව් පිළිගනිමින්ය. ඒ අතර ගුරු වෘත්තිය රජයේ අනෙක් සේවාවන්ට වඩා පසුගාමී සමාජ ආකල්ප හා වැඩවසම්වාදී සිතුම් පැතුම් සමග පැවතීමටද හේතුවක් ඇත. ගුරු වෘත්තියට බහුතරයක් ඇතුළු වන්නේ ග්‍රාමීය සහ අර්ධ නාගරික සමාජයෙනි. අපගේ නගරය වෙළඳපලක් වන අතර ග්‍රාමීය සමාජය අසංවර්ධිත පැරණි සමාජයකි. එය නිදහස් වෙළඳපල ආර්ථිකයෙහිද අත හැරුණු සමාජයකි. අර්ධ නාගරික සමාජය, රෝස් නොකර තම්බාපු රෝස් පාන් ගෙඩියක් වැනිය. 

මේ පිරිස් සේවා ස්ථාන ලෙස තෝරා ගන්නේද ඔවුන්ට හුරු පුරුදු අව වර්ධිත ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ය. එනිසා බහුතරයක් ගුරුවරුන් ඉන්නේ ළිං කටින් පෙනෙනවාට වඩා ලොකු ලෝකයක් දකින්නට, ගසක අත්තකටවත් ගොඩ නොවූ ළිංමැඩියන් මෙනි. තමන් දන්නා හඳුණන තමන්ගේ හුදකලා පුංචි ලෝකයක ය. ඒ හේතුවෙන් ඊළග පරම්පරාව වසර 10 ට වැඩි කාලයක් පාසලේදී එකතුකර ගන්නේ, එවන් ගුරුවර ගුරුවරියන් එකතුකර ගත් සියලු පුද්ගලවාදී, නිස්සාර ආකල්ප හා නොවටිනාකම් ය. ඔවුන්ගේ යොවුන් පෞරුෂ හැදෙන්නේ නිරන්තරව ගොදුරුවන මේ පසුගාමී බොල් ආකල්පමය හැඩ කිරීම් සමග සමාජ වගකීම් නොහඳුණන, ආත්මාර්ථකාමයක් වැළඳ ගනිමින් ය. එබැවින් මේ පාසල් වලින් මේ ගුරුවරුන්ගෙන් හැදෙන තෙවන පරම්පරාව, ගුරු පත්වීම් ගෙන පාසල් වලට එන්නේ බාල ෆොටෝ කොපි වලින් ගත් ඊටත් වඩා බාල ෆොටෝ කොපි වශයෙනි.

අධ්‍යාපනය ගොඩ දැමීමට නම්, මේ විනාසකාරී ගමන නතර කරගත යුතුව ඇත. එය යෝධ සමාජ වෙනසක් සමග සිදු විය යුත්තක් වන අතරම, ගුරු වෘත්තියෙහි වෙනසක් වෙනුවෙන්ද පියවර ගත යුත්තකි. කෙටියෙන් කිවහොත් ගුරු සේවය රැකියාදීමේ පහසුවට තබා ගත යුත්තක් නොවන බව සමාජයට කීමෙනි. ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සමග නිශ්චිත පිළිවෙතක් තිබිය යුතුය. එය තෙවසරක දියුණු පාඨමාලා සමග අලුතින්ම සංවිධානය කළ යුතු නවීන ගුරු අභ්‍යාස විද්‍යා පීඨ වලින් සමත්වන වෘත්තිකයින්ට සීමා කළ යුත්තකි. විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ගුරු සේවයට එන්නට අවශ්‍ය නම්, ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යා පීඨයක අවසන් වසර සම්පූර්ණ කර ගුරු වෘත්තීය සහතිකය ලබාගත යුතු යැයි නියමයක් තිබිය යුතුය. විශ්ව විද්‍යාල නීති පීඨයෙන් සමත්වන නීති උපාධිධාරීන්ට නීති වෘත්තියට ඇතුළු වන්නට නීති පාසලේ අවසන් විභාගය සමත් විය යුතු ලෙස ය.

එනිසා දැන් වහා අත ගැසිය යුත්තේ ගුරු සේවාව සැබෑ නූතන වෘත්තියක් ලෙස ස්ථාපිතකර ගැනීමේ එවැනි විසඳුමකට ය. ගුරු වෘත්තිය හැදීමට පටන් ගතහොත් අපට අධ්‍යාපනය ගොඩ දැමීම ගැන කතාවට අනතුරුව ගොඩ විය හැකිය. ලොකුම තුවාලය සනීපකර ගතහොත් අනෙක්වා සුවකර ගැනීම බරපතල ප්‍රශ්න නොවන්නාක් වැනිය.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Continue Reading

Article

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි ? – (රේණුකා දමයන්ති ගමගේ)

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබේ. 

ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඔහු පවසා ඇත. 

ලාල්කාන්ත මෙම “තරමක් අමුතු ප්‍රකාශය” කොට ඇත්තේ ඉකුත් 08 වන දා මහනුවර දී විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමිනි.

“කුමන ආකාරයේ වෘත්තීය අරගල සිදු කළත් මේ ක්ෂේත්‍රවල අඛණ්ඩ වර්ජන කරන්න ගියොත් අනිවාර්යයෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවැති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මවුපියන් ගුරු, විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා. දැන් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වගේම විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන ආරම්භ කර තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වෙලා. මේවා අපිට පිළිගන්න බැහැ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩ කරන්න කියන එකයි” ඔහු පවසා තිබේ.

එහෙත්, මෙය ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ගෙන් එදා මෙදා තුර අසන්නට නොලැබුණු අන්දමේ දුලබ ප්‍රකාශනයකි.

” එසේ පැවසූ ලාල්කාන්ත ඒ සමඟම මෙසේ ද කියා ඇත.

“වැඩ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕන තරම් ක්‍රම තියෙනවා. වැඩ වර්ජන පමණක්ම නෙවෙයි උත්තරය. අපි දරුවන් ගැන සිතා කටයුතු කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටලුවලට වඩා වෘත්තීය සමිති අතර ගැටලු වැඩියි. මේ රටේ අලකලංචි, බෙදීම් මෙන්ම අර්බුද වැඩිම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේයි. ප්‍රගතිශීලී, විකල්ප, ජේ. වී. පී, යූ. ඇන්. පී, සජබ, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, ස්වාධීන ඇතුළු තව කොයිතරම් නම් වෘත්තීය සමිති මේ රටේ තිබෙනව ද? මේවා සමගියෙන් කටයුතු කරනව ද? බෙදීම් තමයි තිබෙන්නේ. 

ලංකාවේ වෘත්තීය සමිතිවල වැඩ කරන්න ලෙහෙසි පහසු නැහැ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් එන අවස්ථාවේ වෘත්තීය සංගම් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අරගල කරන එක සාමාන්‍ය දෙයක්. මේ අරගල කරන අය මැතිවරණ සටන් භූමියට එන්න එපා. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා අරගල කරන්න ඕනේ මැතිවරණ සටන් භූමියේ. මේ ඉන්න පාලකයෝ පන්නා දමන සටනට තමයි අපි දැන් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවකයෝ සිදුකරන ඉල්ලීම් දෙන්න බැහැ කියලා අරගලකරුවෝ දැනගන්න ඕන. මේ ජාති ද්‍රෝහී කණ්ඩායම පන්නා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කර මිස ජනතා ඉල්ලීම් දිනාගත නොහැකියි.’’

ලාල් කාන්තලා ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂයක් බව පක්ෂ ව්‍යවස්ථාවේ මුල් කොටසේම සඳහන් ව ඇත. එය විද්‍යාත්මක සමාජවාදී දර්ශනයෙන් මඟ පෙන්වීම් ලබන බවත් පවතින ධනපති සමාජ ක්‍රමය නව සමජවාදී සමාජ ක්‍රමයක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට එය ක්‍රියා කරන බවත් පක්ෂ ව්‍යවස්ථාවේම සඳහන් ය. මේ ප්‍රතිපත්තිමය රාමුව තුළ රැඳී සිටීම සඳහා පක්ෂ සාමාජිකත්වයට බල කෙරෙන විශේෂ විධිවිධානයන් ද එම පක්ෂ ව්‍යවස්ථාවෙන්ම පනවනු ලැබ තිබේ. 

පොදු වාමාංශික දේශපාලන පක්ෂ නියමයන් පරිදි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන බවට දිවුරුමක් ද දී ඇති විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව අවබෝධයක් ලත්, දේශපාලනමය වශයෙන් සන්නද්ධ වූවෙකි. ඔහු දේශපාලනය පිළිබඳව කතා කළ යුත්තේ ද එම න්‍යායන් උල්ලංඝනය නොවන ලෙසිනි. 

එමෙන්ම පක්ෂ ව්‍යස්ථාවට හා පක්ෂ විනයට බැඳී සිටීම පක්ෂ විශ්වාසය කඩ නොකිරීම සාමාජිකත්වයේ වගකීම් ලෙස පක්ෂයේ ව්‍යස්ථාවේම සඳහන් කර ඇති පසුබිමක ලාල් කාන්ත මීට පෙර ද මෙවැනිම බරපතල කතාවක් කියා තිබේ. ඒ යූටියුබ් සාකඡාවක දී ය. එනම් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සමාජවාදයෙන් බැහැරව හිඳින බවකි. 

ඒ අනුව දැඩි විධිවිධානයන් සහිත ව්‍යවස්ථාවකින් බැඳී සිටින ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ මුඛ්‍ය අරමුණ වන සමාජවාදය අත හැරියායැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කිරීම පක්ෂ ව්‍යවස්‍ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව අතිශයින් පැහැදිලි ය. නමුත් එය ජනතා විමුක්ති පෙරමුණේ නිල ප්‍රකාශයක් සේම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් ද නොවන බව පෙනී යයි.

සාමාන්‍යයෙන් අප රටේ දේශපාලනඥයකු වෙතින් යමක් පැවසුණු විට එය එම පක්ෂයට අවාසිදායක නම් පක්ෂ ලේකම් වැනි වගකිව යුත්තකු කරන විශේෂ ප්‍රකාශයක් තිබේ. එනම් එය ඔහු ගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ නිල අදහසක් නොවන බවකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ යනු එසේ එක් එක්කෙනාට කටට එන එන දේවල් කිව හැකි පක්ෂයක් නොවේ. එවන් පසුබිමක් තුළ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා පවා ලාල්කාන්තගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීම තුළින් පෙනී යනුයේ ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන්ම දැන් ලාල් කාන්ත පවසන අන්දමට සමාජවාදය හැර දමා ඇති බවකි. 

මේ අතර ඔහු ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයක් ද අපගේ කරුණු දැක්වීමට එක් කර ගැනීමට මට සිතෙයි. 

“ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරන්න. මොකද මේක පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි”

ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ හා බද්ධ වූ දේශපාලන සන්ධානයයි. 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින්ම පිහිටුවා ගත් මෙම සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත ය. මාලිමාව ලාංඡනය යටතේ මැතිවරණ සඳහා ඉදිරිපත් වන එය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ගෙන් සමන්විත වූවකි. එහෙත් ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මෙන් පූර්ණ සමාජවාදය වෙනුවෙන් කැප වූ සන්ධානයක් නොවේ. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නම් නව දේශපාලන සංකල්පය මත මත ස්ථාපිත වූවකි. 

ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි බව පැවසීම ජනතා විමුක්ති පෙරමුණට කෙසේ වෙතත් ජාතික ජනබලවේග සංකල්ප වලට අනුරූප වූවක් ද විය හැක. 

ගත වූ කාල වලට සාපේක්ෂව එක් ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය විනය ආදී වශයෙන් වූ බිඳ වැටීම් දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් ගේත් දෙමාපියන් ගේත් ආදි සිසුන් ගේත් පොදු අදහස වූයේ ඒ තත්වයට විදුහල්පති ගේ නොමනා ක්‍රියා හේතු වී ඇති බවකි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත පාසලේ විශේෂ ගුරු දෙගුරු හමුවක් සංවිධානය කොට තිබිණ. එහි දී විදුහල්පති ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් දෙමාපිය පාර්ශවයෙන් දැඩි චෝදනා එල්ලවත්ම පාසලේ විදුහල්පති සහ ඔහුට හිතවත් ගුරුවරුන් කිහිපදෙනකු විසින් ඊට ප්‍රති ප්‍රහාර ද එල්ල වනු දක්නා ලදී. එවිට එම සභාවෙන් නැඟී සිටි එම පාසලේ ගුරුවරයකු දෙමාපියන්ගේ පාර්ශවය ගනිමින් විදුහල්පතිවරයා දැඩි විවේචනයට ලක් කරන ලද්දේ සැමගේ අවධානයට ලක්වෙමිනි.

”ඉතින් ඕවා මොකද? මෙතන දිග අරින්නේ ඇයි ඕවා ගැන ස්ටාෆ් මීටින් එකක දී එක වචනයක් වත් කතා නොකළේ; ”එසැනින් නැඟී සිරි විදුහල්පතිට හිතවත් ගුරුවරයෙක් ඇසීය. ”මට එහෙම කියන්න උවමනාවක් නෑ. මගේ දරුවා උගෙන ගන්නෙත් මේ පාසලේමයි. මම මේ කතා කරන්නේ දෙමව්පියෙක් හැටියට. ඇයි මට මගේ දරුවා වෙනුවෙන් මෙතන කතා කරන්න බැරිද?” ඒ ගුරුවරයා එසැනින් ඇසීය.

පසුගිය දිනයෙක අපට අසන්නට ලැබුණු ඒ කතාව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්තගේ සමාජවාදය අත හැරීමේ සහ වැඩ වර්ජන වලින් වැලකී සිටීමේ කතාවෙන් යළි සිහි ගැන්වුණු බව ඔහු වෙත ස්තුති පූර්වකව මෙහි ලියා තබමි.

(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී

Continue Reading

Article

මහත්වරුන්ගේ ක්‍රීඩාවයි ශ්‍රී ලංකාවේ අභිමානයයි හෑල්ලු කළ පච්ච සිරාලා

වනිඳු හසරංග විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වූයේ ඊයේ පෙරේදාය. ඔහුගේ ඉවත් වීම පුදුමයක් නොවන්නේ එය වැඩිදෙනකු බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්ව මූලික වටයෙන්ම ඉවතට විසි වීමෙන් ශ්‍රී ලංකා පිලේ නායකයා දැඩි විවේචනයට ලක් වී සිටියේය. එපමණක් නොව ඔහුගේ නායකත්වයේ ගති ලක්ෂණ ද අන්තිම පහළ තත්ත්වයක පැවතීම නිසා ක්‍රීඩාලෝලීන් සිටියේ කලකිරීමෙනි.

සමාජ මාධ්‍ය ජාලයේ පෝස්ටු පිට පෝස්ටු වැටෙන්නට වූයේ වනිඳුගේ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි. වනිඳු හසරංග ලෝක පූජිත පිතිකරුවන් දණගැස්වූ දඟපන්දු යවන්නකු ලෙස ප්‍රකටව සිටියත් ක්‍රීඩකයකු ලෙස ඔහුගේ හැසිරීම අන්තිම බිංදුවට වැටී තිබිණි. ඇතැමුන් ඔහු හඳුන්වනු ලැබුවේ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ බිහි වූ අවිනීතම ක්‍රීඩකයා හැටියටය.

ඔහු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වී මාස 7ක්වත් නැත. ඒ කාලය ඇතුළත වනිඳුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරගාවලි කිහිපයක්ම දිනාගත් බව සැබෑය. එහෙත් පිටියේදී මෙන්ම පිටියෙන් පිටතදීත් ඔහුගේ හැසිරීම නම් දැඩි විවේචනයට ලක් වූ එකකි.

මේ වසරේ මුල් භාගයේදී බංග්ලාදේශයට එරෙහිව එරට පැවැති එක්දින තරගාවලියේ තුන්වැනි තරගය අතරතුර විනිසුරු තීරණයකට එරෙහි වීමත්, ඊට පෙර මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවති විස්සයි20 තරගයේදී නිපන්දුවක් සටහන් කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ විනිසුරුවරයකු සමඟ උණුසුම් වාදයක පැටලීමත් නිසා වනිඳු අයිසීසීයේ උදහසට ද ලක්වූවෙකි. නියම නායකත්වයේ හැඩතල හා ගති ලක්ෂණ ඔහු වෙතින් දිස්වූයේම නැත. බරපතළම කාරණාව ද එය විය.

අනිත් අතට ඔහු අයිසීසී දඬුවමෙන් හැදුණු ක්‍රීඩකයකු ද නොවන බව පසුගියදා එල්පීඑල් තරගාවලියේදී යළි යළිත් පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි. මෙවර එල්පීඑල් තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් පිලේ නායකයා ලෙසත් කටයුතු කරන වනිඳුට ආරම්භයේදීම රුපියල් ලක්ෂ 11ක දඩයක් ගෙවන්නට සිදු වූයේ ද එනිසාය. එසේ වූයේ තරගාවලියේ නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ඇඳුම් භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වීමෙනි. සෑම කණ්ඩායමකම ක්‍රීඩකයන්ට වෙන් වෙන් වශයෙන් නිල ක්‍රීඩා ඇඳුම් පැලඳුම් ක්‍රිකට් උපකරණ ලබාදී තිබුණ ද, ඔහු පිටියට පිවිසියේ වෙනත් ලාංඡනයක් සහිත ආරක්ෂිත හිස් වැස්මක් පැලඳගෙනය. එය ඉවත් කිරීමට තරග විනිසුරු දැනුම් දුන් විට විනිසුරු තීරණයට එරෙහිව ඔහු ප්‍රකෝපකාරීව හැසිරීම දඬුවමට හේතු වී තිබිණි.

තවත් අවස්ථාවක තරගයෙන් පසු පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ඔහු පෙනී සිටියේ සෙරෙප්පු පැලඳගෙනය. එය ද තරගාවලියේ බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය. පිටියෙන් පිටතදීත් ඔහුගේ විනය විරෝධී හැසිරීම් ගැන කතා බොහෝ ය. ඒවා තම පෞද්ගලික කාරණා බැවින් කිසිවකු ඒ ගැන වද වීමට අවශ්‍ය නැතැයි ඔහු සිතුවා විය හැකිය. එහෙත් එවැනි හැසිරීම් හා සිදුවීම් නිසා ක්‍රීඩාවට හා ශ්‍රී ලංකාවේ කීර්තියට හානියක් සිදුවන්නේ නම් එය පෞද්ගලික කාරණාවලින් ඔබ්බට ගිය එකක් බවට පත් වන්නේ නිතැතින්මය.

තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන මේ දකුණත් දඟපන්දු යවන්නාට ක්‍රිකට් පිටියේ තවත් යායුතු දුර බොහෝ ය. එවකට ලෝක පූජිත දඟපන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය ද ඔසවා තැබුවේ මුත්තයියා මුරලිදරන්ය. වනිඳු යනු එවැනිම ගෞරවයක් සහ කීර්තියක් අත්කර ගත හැකි ඊළඟ පරපුරේ දඟපන්දු යවන්නා බව අවිවාදිතය. ක්‍රීඩා පිටියේදීත්, පිටියෙන් පිටතදීත් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරමින් සිටින්නේ එවැනි ක්‍රීඩකයෙකි. කනගාටුවට කරුණ එය ය. කවුරුත් කතා වන්නේ දස්කම් අතින් කොතරම් ඉහළින් සිටිය ද, විනය අතින් අන්තිම බිංදුවට පිරිහුණු ක්‍රීඩකයකු නම් එවැනි ක්‍රීඩකයකුගෙන් රටට වැඩක් නැති බවය.

වනිඳු හසරංග මේ යන්නේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් නමැති අවිනීත ක්‍රීඩකයාගේ අඩි පාරේදැයි ඇතැමුන් අසන්නේ එබැවිනි. බංග්ලාදේශයෙන් බිහි වූ අතිවිශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු වුවත් ශකීබ් අල් හසන් ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් තනිකරම රස්තියාදුකාරයෙකි. අමුම අමු මැරයෙකි. ඔහු වනිඳුගෙන් වෙනස් වන්නේ පච්චා කොටා හෝ හිසකෙස් පාට කර නොසිටීම නිසාය. බංග්ලාදේශය වැනි මුස්ලිම් රටක ආගමික තහනමක් බැවින් ශකීබ්ට ඊට අවසර නැති බව සඳහන් වේ.

වනිඳු පමණක් නොව අද වන විට ශ්‍රී ලංකා පිලේ වැඩි හරියක්ම සිටින්නේ එවැනි විලාසිතා අනුගමනය කරන ක්‍රීඩකයෝ ය. ඇතැමුන් සිතන්නේ හිසකේ පාට කිරීම හෝ පච්චා කෙටීම කෙනකුගේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීමට හෝ සමාජයේ කැපී පෙනීමට ඉවහල් වන සාධක බවය. නොඑසේනම් ‘පොරවල්’ වීමට බලපාන සාධක බවය. අර්ජුන රණතුංගලා, අරවින්ද ද සිල්වාලා, මුත්තයියා මුරලිදරන්ලා පමණක් නොව මහේලලා සංගලා පවා ලෝක පූජිත ක්‍රීඩකයන් ලෙස තවමත් ගෞරවයට පාත්‍ර වී සිටින්නේ පච්චා කෙටීමෙන් හෝ හිසකේ පාට කිරීමෙන් හෝ නොව ක්‍රීඩා කළ කාලයේදී පෙන්නුම් කළ දස්කම් නිසාවෙනි.

මෙවැනි ‘පච්ච සිරාලා’ ගැන අප මීට පෙර අසා තිබුණේ ‘ගුණේ අයියාගේ කාමරයේ’ ය. පච්ච සිරාලා පමණක් නොව ගුෂ්පි රොබාලා ද ගුණේ අයියාගේ කාමරේ සිටි බව නිහාල් නෙල්සන්ගේ ගීතයෙන් කියැවේ. දැන් පච්ච සිරාලාත්, ගුෂ්පි රොබාලත් දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සිටිති. ලොව පුරා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර අතර එවැනි පච්චා කෙටූ සහ හිසකේ පාට කළ ක්‍රීඩකයෝ අපමණ වෙති. ඉන්දියාවේ විරාට් කෝලිලා වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවා ශරීරය පුරා පච්චා කොටා ඇති බවත් සැබෑය. කෝලිලා පමණක් නොව එංගලන්තයේ හිටපු සුපිරි පිතිකරුවකු වූ කෙවින් පීටර්සන් පවා එහෙමය. එහෙත් ඒවා ශ්‍රී ලංකාවට අදාළ කාරණා නොවන්නේය. එක අතකට විරාට් කෝලි යනු පිටියේදී මුරණ්ඩු ලෙස හැසිරුණ ද, විනිසුරුවරුන් සමඟ ගැටුම් ඇතිකර ගත් ක්‍රීඩකයකු බවට වාර්තා වන්නේ නැත. ඔහුගේ ආවේගශීලි බව ඔහු පෙන්නුම් කරන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් මෙල්ල කිරීමේ උපක්‍රමයක් හැටියටය. ඔහු නීතිගරුක ස්වයං විනයක් සහිත ක්‍රීඩකයකු ලෙසත් ප්‍රකටය. විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයේදී ඉන්දියාවට කුසලානය දිනා ගැනීමට මං විවර වූයේ ඔහුගේ දස්කම් මතිනි. ඔහු සිය බාහිර ආටෝප තරමටම ශාරිරීක යෝග්‍යතාව පවත්වා ගැනීමට හා දස්කම් මුවහත් කර ගැනීමට කැපවීමෙන් යුතුව කටයුතු කළ ක්‍රීඩකයෙකි.

වසර 2017දී විරාට් කෝලිලා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නවාතැන් ගත් කොළඹ තරු පහේ හෝටලයේ කායවර්ධන මධ්‍යස්ථානය අලුයම 5.00ට විවෘත කිරීමට සිදුවී තිබිණි. එය සාමාන්‍යයෙන් විවෘත වන්නේ උදෑසන 6.00ටය. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර කාලයක් සිය පුහුණුකරුවන්ට හිසරදයක් ගෙන දුන් ක්‍රීඩකයකු විය. එසේ වූයේ ඔහු එකම පහර පැය ගණනාවක් පුරා පුහුණු වන ආකාරයේ කැපවීමක් පෙන්නුම් කළ ක්‍රීඩකයකු වීම නිසාය. එම කාලය තුළ පුහුණුකරුට පැය ගණනාවක් ඔහුට පන්දු යැවීමට සිදුවී තිබිණි. ක්‍රීඩාවට වැදගත් වන්නේ පච්චා හෝ හිසකේ පාට කිරීම් නොවන බවට ඒවා කදිම නිදසුන්ය. විනය හා ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩාවේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධක බව ක්‍රීඩකයන්ට අමුතුවෙන් කිව යුතු ද නැත.

අනිත් අතට ශ්‍රී ලංකාවට විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ආපසු ඒමට සිදු වූයේ තම ශරීරයේ කොටා ඇති පච්ච ප්‍රමාණයට හෝ ලකුණු රැස් කිරීමට නොහැකි වූ පිතිකරුවන් නිසාය. කතාව ඒක ය. පාට කරගත් හිසකෙස් හා පච්චා කෙටූ ශරීරය සමඟ කඩුල්ල මැදට ගොස් බිංදුවට දැවී යන පිතිකරුවන්ගෙන් රටට ඇති වැඩක් ද නැත. සිය බාහිර ආටෝපය ගැන වද වන තරමටම සිය හැකියාව මුවහත් කර ගැනීමටත් වද වෙන්නේ නම් කොතරම් අගනේදැයි සිතේ.

විනය යනු ක්‍රීඩාව හා බැඳී පවතින්නකි. ක්‍රීඩාවේ සාර්ථකත්වයට දස්කම් පමණක් නොව හැදියාව ද එක ලෙස බලපාන්නකි. ක්‍රිකට් වනාහි මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම විචාරකයකු වූ ශ්‍රීමත් නෙවිල් කාඩස් වරක් කීවේය. එය මහත්වරුගේ ක්‍රීඩාවක් වූයේ එවකට කවුරුත් මහත්මා ගුණයෙන් යුතුව ක්‍රීඩාවේ නිරතව සිටි නිසාය. ප්‍රතිවාදී ක්‍රීඩකයන් කේන්ති ගැස්වීමට අසභ්‍ය වචන පැවැසීමක් නැත. රැවටීමක් හෝ දඟ කැවීමට අවශ්‍ය පරිදි පන්දුව පතුරු ගැසීමක් හෝ විනිසුරු සමඟ වාද කිරීමක් හෝ නැත. විනිසුරුවරුන්ගේ තීරණවලට එරෙහිව වචනයකින්වත්, හැසිරීමකින්වත්, අංග චලනයකින්වත් විරෝධතාවක් පෙන්වන්නේ නැත. එවකට තමා දැවී ගිය බව දන්නේ නම් පිතිකරු පිටියෙන් ඉවත් වන්නේ විනිසුරු තීරණය දීමටත් පෙරය. ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා එවැනි පිතිකරුවෙකි. ඔහු කිසිදිනෙක විනිසුරු තීරණය දෙන තුරු තණතීරුවට වී කල් මැරුවේ නැත. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. එක අතකට ඒවාට අයිසීසීය ද වග කිව යුතුය. අයිසීසී ය විනිසුරු තීරණවලට අභියෝග කිරීමේ ඩීආර්එස් ක්‍රමවේදය පිටියට හඳුන්වා දුන්නේය. තීරණ පමණක් නොව විනිසුරුවෝ ද ඉන් හෑල්ලු වී ගියහ.

ක්‍රීඩකයන් අතර ඔවුන්ගේ අගය, කීර්තිය හා ගෞරවය නැත්තටම නැති වී ගියේය. ඕවරයක් ඇතුළත යම්කිසි තීරණයක් ප්‍රතික්ෂේප වීමෙන් උරණ වන පන්දු යවන්නෝ එම ඕවරයෙන් පසු සිය කෝපය ප්‍රකාශ කරන්නේ ප්‍රධාන විනිසුරුගෙන් තම හිස් වැස්ම උදුරා ගැනීමෙනි. ඉන් නොනැවතී අසික්ෂිත වදනින් පවා බැණ වදිති. වනිඳු අයිසීසීයේ තහනමට ලක්වූයේ ද එවැනි වරදකටය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ කතා කරද්දී අර්ජුන රණතුංග ගැන කතා නොකරම බැරිය. ක්‍රිකට් අතීතය දන්නා වැඩිදෙනකු අදටත් සිහිපත් කරන්නේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අවදියේ ක්‍රීඩකයන්ගේ විනය කොතරම් ඉහළ මට්ටමක තිබුණේදැයි යන්න ගැනය. එවකට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පච්ච කෙටුවේ ද නැත. හිසකේ පාට කර තිබුණේ ද නැත. ක්‍රීඩාවට පමණක් නොව ඔවුන් විනයානුකූල හැසිරීමටත් දුන්නේ මුල් තැනකි. විශේෂයෙන් ඒවා කැපී පෙනුණේ විදෙස් සංචාරවලදීය. රට නියෝජනය කරමින් විදේශ ගත වීමේදී රටේ ගරුත්වය හා කීර්තිය රැක ගැනීමේ වගකීම අකුරටම ඉටු කළ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ එමට සිටියහ. එය වැඩිපුරම කැපී පෙනුණේ ද අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය. ඊට පෙර දුලිප් මෙන්ඩිස් නායකයා ලෙස කටයුතු කළ කාලයේදී ද ක්‍රීඩකයන්ගේ විනය තිබුණේ ඉහළම තැනක ය. එවැනි නායකයෝ තම ක්‍රීඩකයන්ගේ විනය පවත්වා ගෙන යෑමට දැඩි තීන්දු තීරණ පවා ගත්හ.

වරක් අර්ජුනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයක නිරතව සිටියදී එක්තරා ක්‍රීඩකයකු අධික වටිනාකමකින් යුතු ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ සිදුවීමක් වාර්තා විය. එය සිදුවූයේ කණ්ඩායම ලද ඇරියුමකට අනුව එක්තරා නිවෙසක භෝජන සංග්‍රහයකට සහභාගි වූ අවස්ථාවකදීය. එම නිවෙසේ තිබූ ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ වරදට අදාළ ක්‍රීඩකයා ලැබූ දඬුවම වූයේ එම සිදුවීමෙන් පසු කිසිදිනෙක යළි කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලැබීමය. එහෙත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. එවැනි සොරකමක් නොව ඊට වඩා බරපතළ සිදුවීමකින් පසුව වුවත් වත්මන් ක්‍රීඩකයන්ට ඊළඟ තරගයට හෝ ඊළඟ සංචාරයට හෝ එක්වීමේ අවස්ථාව ලැබෙන්නේ නිතැතින්මය.

හොඳම නිදසුන ධනුෂ්ක ගුණතිලක ය. ඔස්ට්‍රේලියාවේදී ඔහු කළ කී දේවල් ගැන ශ්‍රී ලංකාවට වැඩිය විදෙස් රටවල තොරතුරු පළ විය. පොලිස් කූඩුවේ පමණක් නොව බන්ධනාගාරගත වී සිටීමට ද සිදුවූයේ විනය පිරිහීම නිසාය. සිය පෞද්ගලික ආශ්වාදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අභිමානය පාවා දුන් මේ ක්‍රීඩකයා අද එල්පීඑල් පිටියේ ක්‍රීඩා කරමින් සිටී. හෙට අනිද්දාට යළි ජාතික කණ්ඩායමට ද එක්වනු ඇත. කළ වරදට ඔහුට විනය පරීක්ෂණ නැත. එම සංචාරය අතරතුර කැසිනෝ ගොස් ගුටිබැට හුවමාරුවකට පැටලුණු ක්‍රීඩකයන්ට විනය පරීක්ෂණ නැත. ඊට පෙර පැවැති එංගලන්ත සංචාරයක් අතරතුර ජීව බුබුළු වළල්ලෙන් මිදී රාත්‍රී කාලයේ වීදි පුරා රස්තියාදු ගැසූ ශ්‍රී ලංකා පිලේ ප්‍රකට තුන් කට්ටුව ගැන එවකට සමාජ මාධ්‍යජාලයේ වීඩියෝ පට සංසරණය විය. ධනුෂ්ක ගුණතිලක ද ඒ අතර සිටියේය. මේවාට නායකයා පමණක් නොව කණ්ඩායමේ කළමනාකරුවාද වග කිව යුතුය. අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියේ නොම්මර එකේ මැනේජර්ස්ලා ය. ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබෙන විට කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අබූ ෆුවාඩ් ගැන හිටපු ක්‍රීඩකයන්ට තවමත් ඇත්තේ අපරිමිත ගෞරවයකි. ඔහුට ක්‍රීඩකයන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ ‘සර්’ කියාය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි තීන්දු තීරණ ගත් සැර පරුෂ පුද්ගලයෙකි. නියමිත වේලාවට පුහුණුවීම්වලට නොපැමිණෙන ක්‍රීඩකයන්ට ඔහුගෙන් කිසිදු සමාවක් නැත. දුලිප් මෙන්ඩිස්ලා, රංජිත් ප්‍රනාන්දුලා ද එවැනිම වර්ගයේ කළමනාකරුවෝ වූහ. එහෙත් අද එවැනි කළමනාකරුවන් නැත. එදා ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවට හසු වූ ධනුෂ්ක ගුණතිලක රාත්‍රී කාලයේදී කාන්තාව සොයා ගියේ කණ්ඩායමේ කළමනාකරුට අයිසීසීයෙන් ලබා දී තිබූ මෝටර් රථයෙන් බව එවකට වාර්තා විය. අද කණ්ඩායමේ සිටින විනය අතින් පිරිහුණු ඇතැම් ක්‍රීඩකයන් එදා සිටියේ නම් ඔවුන්ට දෙවියන්ගෙම පිහිට ය. අබූ ෆුවාඩ්ලා, දුලිප් මෙන්ඩිස්ලා ඔවුන්ට ක්‍රීඩකයන්ගේ විවේකාගාරයටවත් ඇතුළු වීමට ඉඩ නොදෙනු සහතිකය.

(උපුටා ගැනීම – සිළුමිණ වෙබ් අඩවියෙන් )

Continue Reading
Advertisement
Hot News46 mins ago

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

Hot News1 hour ago

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Hot News3 hours ago

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

World3 hours ago

ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

Hot News3 hours ago

සිනමා ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කරන්න ඕන – ජයන්ත චන්ද්‍රසිරි

Hot News4 hours ago

බස් දෙකක් හැප්පෙයි – අයෙක් මරුට

Hot News6 hours ago

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

Hot News6 hours ago

ඔබේ ප්‍රශ්න ගැන ජනපති සමඟ කෙලින් කතා කරන්න අවස්ථාවක්

Hot News7 hours ago

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

Hot News7 hours ago

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Hot News18 hours ago

ගුරුවරුන් අලුතින්ම ගන්න යන ක්‍රියාමාර්ගය මෙන්න

Politics18 hours ago

පුනරුදයට රටම එකට මාලිමාවේ මහනුවර රැළියට ජන ගඟක්

Hot News19 hours ago

ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත ලබන මාසයේ සිට

Hot News20 hours ago

අනුරාධපුරය ආසන්නයේ සුළු භූ කම්පනයක්

Hot News20 hours ago

බදු පැහැර හරින අයට වැඩ වරදින ලකුණු

Politics20 hours ago

වාසුගේ පක්ෂය නිරෝෂන් ප්‍රේමරත්නට

Article20 hours ago

“තුනෙන් දෙක” ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ – (කුසල් පෙරේරා)

Politics21 hours ago

ඊළඟට පත්වෙන්න ඉන්න ජනපති සජිත් නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්න

Politics21 hours ago

වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – කංචන

Hot News22 hours ago

මාර්ගය හරහා දිවගිය සුනඛයෙකු බේරීමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

Sports22 hours ago

Watch : දරුණු ප්‍රහාර මැද කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි

Hot News23 hours ago

නිමල් සිරිපාලට සිතාසි

Hot News23 hours ago

ෆ්‍රෙඩී සිල්වාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

Hot News1 day ago

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

Politics1 day ago

සාගල ක්‍රිකට් උපකරණ බෙදයි

Hot News1 day ago

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

World1 day ago

ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කරයි

Article1 day ago

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි ? – (රේණුකා දමයන්ති ගමගේ)

Hot News1 day ago

ඡායාරූපයක් ගන්න ගිය පාසල් සිසුවියගේ පපුව ස්කෑන් කරන්න ගියැයි ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට

Hot News1 day ago

ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics3 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News3 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized4 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News4 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News6 days ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News6 days ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News1 week ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News1 week ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News1 week ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports4 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Advertisement

Categories

Trending