දිගන නගරයේ විවෘත කරන ලද මත්පැන් අලෙවි හලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර එකිනෙකාට එරෙහිව ඇතිවූ කතා බහ දුරදිග යෑම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත විය.
දිගන මැණික්හින්න මාර්ගයේ එක් මත්පැන් අලෙවි හලක් පිහිටි ස්ථානයක තවත් මත්පැන් අලෙවිහලක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය , ඇතුළු කණ්ඩායමක් 29 දා එම ස්ථානයට පැමිණ විරෝධතාවයක නියැලෙන අවස්ථාවේ එතනට පැමිණි තවත් ප්‍රදේශවාසී පිරිසක් එම මත්පැන් අලෙවිහල ඔවුනට අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය උද්ගත විය.
මෙහිදී මහා සංඝරත්නය මෙන්ම මත්පැන් අලෙවි හලට විරෝධය පෑ කණ්ඩායම සඳහන් කළේ රජය අත්තනෝමතිකව සෑම ගමක ,නගරයක මත්පැන් අලෙවි හල් විවෘත කිරීම හේතුවෙන් බහුතර ජනතාව තම දරු පවුල් ගැන නොසිතා මත්පැන් පානයට ඇබ්බැහි වීම මත ආර්ථික අර්බුද උද්ගතව, සාමය අහිමිව ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය. මත්පැන් හල අවශ්‍ය බව පැවසූ කණ්ඩායම ඊට එරෙහි වෙමින් කියා සිටියේ මත්පැන් පානය කරන පුද්ගලයා එක තැනක නැත්නම් තව තැනකට හෝ ගොස් අනිවාර්යෙන් පානය කරන බවය.
රජයේ සංස්ථා මත්පැන් අලෙවි කිරීමෙන් රජයට විශාල වශයෙන් බදු මුදලක් ලැබෙන බවත් දිගන නගරයේ ඇති අනෙකුත් මත්පැන් අලෙවිහල්වල ප්‍රමිතියෙන් තොර මත්පැන් අලෙවි කිරීම මෙන්ම වැඩි මුදලට අලෙවි කිරීම හේතුවෙන් මත්පැන් භාවිතා කරන්නන් හට නව මත්පැන් අලෙවිහල අත්‍යවශ්‍ය බවද ඔවුහු පැවසූහ.
දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගනිමින් වාද විවාද කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර එම ස්ථානයට පැමිණ සිටි පොලිස් කණ්ඩායම් කීපයක් මැදිහත්ව කීප වරක් ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා විශාල වෙහෙසක් ගත්හ. පැය කීපයක් දෙපාර්ශවයේම විරෝධතා පැවති අතර එම අවස්ථාවේ ඒ අසල පිහිටි අනෙක් මත්පැන් අලෙවි හල වසා දැමීමට එහි හිමිකරුවෝ පියවර ගත්තද විරෝධය එල්ල වූ මත්පැන් අලෙවි හල වසා දැමුවේ නැත.
විරෝධය එල්ල වූ මත්පැන් අලෙවි හලේ හිමිකරුවෝ සඳහන් කළේ තම මත්පැන් අලෙවි හලට පමණක් විරෝධය පෑම අසාධාරණයක් බැවින් ඒ අසල පිහිටි අනෙක් මත්පැන් අලෙවිහලද වසා දමන්නේ නම් තම මත්පැන් අලෙවිහලද වසා දැමීමට පියවර ගන්නා බවය. පැය කිහිපයකට පසුව පොලිසියේ මැදිහත්වීම මත දෙපිරිසම විසිර ගියහ.
(කමල් සුරවීර මහනුවර)