Hot News

මන්ත්‍රීවරුන්ගේ වලිය ගැන සොයන්න පොලිසිය ජනපති කාර්යාලයට

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ ඇතිවූ ගැටුමක දී තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර ඊයේ (05) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

ඉන් පසු එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙන්නේ.

තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට අතින් පයින් පහර දුන් බවයි ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා. ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බවයි රාජපක්ෂගේ කට උත්තරයේ සඳහන් වෙනවා.

පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරා‍හේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක දැන් ප්‍රතිකාර ලබනවා. ඔහුව සිය ආබාධය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ පවසනවා.

ගැටුම සම්බන්ධයෙන් කට උත්තර සියල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අනතුරුව අධිකරණ ලබාදෙන නියෝග අනුව පොලිසිය අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවයි කියන්නේ.

1 Comment

  1. CruzE

    July 13, 2024 at 6:36 am

    Very interesting points you have mentioned, thanks for putting up.Raise blog range

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version