මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතාට ලැබුණු තොරතුරක් මත කොටුගොඩ ප්‍රදේශයේ සිට මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව හරක් ප්‍රවාහනය කරන සැකකරුවන් තුන් දෙනෙක් සමග ගවයින් 04 ක් ලොරි රථයේ සිටියදී සොයා ගැනීමට හැකි විය.
මෙම සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේ අක්කර 4 ක කැලෑ භූමියක ගවයින් හංගා සිටින බව සැකකරුවන් පාපොච්චාරණය කරන ලදී.
සැකකරුවන්ගේ පාපොච්චාරණයෙන් පසු මිනුමන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මිනුමන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේ අක්කර හතරක ඉඩමට ගොස් කකුල් ගැට ගසා සිටි ගවයින් අට දෙනෙක් සොයා ගැනීමට මිනුවන්ගොඩ පොලිසියට හැකි විය.
මෙම සැකකරුවන් තිදෙනා කාලයක් තිස්සේ හරක් ජාවාරමේ නිරත වී සිටි බවත් මිනුවන්ගොඩ පොලිසියට පාපොච්චාරණය කරන ලදී.
මෙම ගවයින්ගේ වටිනාකම ලක්ෂ තිහකට අධික බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව බන්ධනාගාර ගත කර ඇත.
(මිනුවන්ගොඩ දමිත් තිසර)