මහනුවර මහියංගණය ප්රධාන මාර්ගයේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්න්නයේ තිබූ විශාල කොට්ට මාර ගසක් ඊයේ (02) පස්වරු 4.30 ට පමණ කඩා වැටීමෙන් වාහන තුනකට හා වෙළඳසැලකට අලාභහානි සිදුව පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලත් තිදෙනා පෙට්ටි කඩය තුළ සිටි අය බව ප්රදේශවාසීහූ පවසති. තුවාල ලත් පිරිස අතර කාන්තාවකද සිටින අතර ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියකටද හානි සිදුව ඇත.
තුවාල කරුවන්ට විදුලි සැර වදින්නට ඇති බවට ද සැක කරයි. අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය වෑන් රථයකට දැඩි හානි සිදුව තිබේ. එහි අඹුසැමි යුවළක් හා ඔවුන් ගේ වයස අවුරුදු තුනක් වන දරුවා ගමන් ගෙන තිබෙන අතර බලගොල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත. මෙම අනතුරින් වෑන් රථයකට, ත්රිරෝද රථයකට හා යතුරු පැදියකට හානි සිදුව තිබෙන බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ එතැනින් ගමන් කළ පොලිස් රථවාහන යතුරු පැදියක් හා නිලධාරීන් දෙදෙනෙක්ද හාස්කමකින් මෙන් බේරී තිබේ.
වර්ෂාව සමඟ ඇති වූ අධික සුළඟ සමඟ කඩා වැටී තිබෙන කොට්ට ගස වට අඩි 20 ක් පමණ වන දැවැන්ත එකක් බව ප්රදේශවාසිහූ පැවසූහ.
(කේ.එල්. සුරවීර මහනුවර)