මාලිමා වෙස් මුහුණ පැළඳ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ගතවූ පනස් තුන් වසරක කාලය තිස්සේ රටේ බලය ඇල්ලීමට යොදා ගත් උද්යෝග පාඨ හා ක්‍රියාකාරකම් රටේ පවත්නා දේශපාලනික හා සාමාජික අපේක්ෂාවන්ට පටහැනි විය.

ජෙප්පන්ට කිසි විටෙක තම අරමුණු සම්බන්ධව කිසිවෙකු සමග ප්‍රසිද්ධියේ වාදයකට පැමිණීය නොහැකි වුණේ ඒ නිසාය. 1970 මැයි මාසයේ තුනෙන් දෙකක ජනතාව පෙළ ගැසී පත් කළ ආණ්ඩුවට දොළොස් මසක් ඉක්මවීමට පෙර, බණ්ඩාරනායක අගමැතිනිය ජීවග්‍රහයෙන් අල්ලා ඝාතනය කොට, රටේ බලය ගැනීමට කළ ජන මතයට, යථාර්ථයට පටහැනි 1971 අප්‍රේල් කැරැල්ල නම් ජවිපෙ ආරම්භක තක්කඩිකම ඊට දිය හැකි හොඳම උදාහරණය වේ. ජවිපෙ ඉතිහාසය පුරා රටට හෝ රටේ ජනතාවට අවංක වුණේ හෝ ආදරය කළේ නැත.

විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව, එළඹෙන පළමු අලුත් අවුරුද්ද සැමරීමට බලා සිටි ප්‍රජාතන්ත්‍රවාදි රටක්, එක් රැයකින් උඩුයටිකුරු කොට, බිය ගන්වා තුවක්කු බෝම්බ පෙන්වා විනාස කළ බව රහසක් නොවේ. එකී ප්‍රතිගාමි තක්කඩිතමට නායකත්වය දුන් විජේවීර පසුපස ගොස් සිය තරුණ ජීවිත වලින් වන්දි ගෙවූ දූ දරුවන්ගේ මා පියන් නැගූ විලාපය සදාකාලිකව උතුරේ දමිළ අම්මලාගේ සාපයට දෙවෙනි වෙන්නේ නැත. ඒ විනාසයෙන් වසර 17කට පසුව, 1988දී ඡන්ද පොළට එන් මුල් දස දෙනාට වෙඩි තබමින් නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුපුරුදු මරණ වරෙන්තු නිකුත් කොට තවත් තරුණ ජීවිත හැට දහසක් පමණ රටට අහිමි කිරීම යනු අවලාදයක් මඩක් නොව ඉතිහාසයේ ලියැවුණ සහාසික අපරාධයකි. එකී අපරාධයන්ට වගකිව යුතු විජේවීරගේ උන්මාදනීය විප්ලවීය ධජය අතට ගත් අනුර කුමාර දිසානායකලා ලාල් කාන්තලා, මාලිමා වෙස් මුහුණ දමාගෙන වර්තමානයේ මැතිවරණ ඉල්ලා වීදි සටන් කරමින් බුලට් එකෙන් බැලට් එකට මාරුවීමේ ප්‍රහසනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතුව තිබේ. ලාල්කාන්තගේ විග්‍රහය අනුව මාලිමා පාලනයකදී වර්ජන අරගල වලට කිසිදු ඉඩක් නැත.

ජවිපෙ කුප්‍රකට පන්ති විග්‍රහයට ඇතුළත් ඉන්දිය විරෝධය එදවස රුසියාවට ලෙන්ගතු ඉන්දියාව පිළිබඳ පැවති චීන විරෝධයට මුක්කු ගැසීමක් මිස, කලාපීය භූ දේශපාලනය පිළිබඳ යථාර්ථවාදි දැක්මක් නො වීය. විජේවීර තුළ කැකෑරුණ ඉන්දීය වෛරය, 1988-89දී 13 වෙනි සංශෝධනයට මුවා බොම්බයි ලූණු මයිසූර් පරිප්පු විකුණා ජීවත්වූ ගමේ සිල්ලර කඩ කාරයා මරා දැමීම විජේවීරගේ උම්මත්ක ස්වභාවයට උදාහරණයකි. බොම්බයි ලූණු ලොකු ලූණු හෙවත් බිග් අනියන් වුණේ ජවිපෙ ගල්කටස් භීතිය නිසාය. එහෙත් ජවිපෙ තහනම් ලැයිස්තුවට අයත් මයිසූර් පරිප්පු යනු ඉන්දීය නාමයක් නොවන බව කිසිවෙකු දැන සිටියේ නැත.

අඩ සිය වසක් පුරා මිනී මරමින් දේපල ගිනි තබමින් බල තන්හාවෙන් මහා විනාසයක් කළ ජවිපෙ වර්තමාන භාරය දරමින්, විසිවෙනි සියවස ලංකාවට අහිමි කළවුන්ට චෝදනා කරන අනුර කුමාරලා ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසිකව සිදු කළ අපරාධ ගැන තවමත් පසුතැවිලි නොවන බව “ඔව්, අපි ආරක්ෂක හමුදාවලට ඔත්තු දුන් ග්‍රාම නිලධාරින් මැරුවා තමයි. හෙටත් එහෙම කරන්න පුලුවන්….” යනුවෙන් ඊයේ පෙරේදා ලාල් කාන්ත කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අවුරුදු පහකට රට ඉල්ලන අනුර කුමාරලාගේ දැක්ම සහ ක්‍රමවේද තවමත් විසි එක්වෙනි සියවසේ ගෝලීය දැක්ම සමග පෙළ ගැසී නැත. ලංකාවේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් කර නැති බව දැන නො සිටි සමන්මලී ගුණසිංහ, මාලිමා පාලනයක් යටතේ, ගණිකා වෘත්තිය නීතිගත කරන බවට කළ ප්‍රකාශය, කිසිදු විමසීමකින් පැකිළීමකින් තොරව, ටිල්වින් සිල්වා ප්‍රතික්ෂේප කිරීම යනු, මාලිමාව කියන්නේ තවමත් ඉපැරණි ජවිපේ ගල් කටස් විධානයේ නාම කරණයක් පමණක් මිස ජන සම්මත කතිකාවක් නොවන බව පැහැදිලි ය.

සමන්මලී හා ටිල්වින් පරස්පරය පිළිබඳ දෙවැනි කියවීම වන්නේ නව පරපුරේ සමන්මලීලාගේ කඬේ යාම් කැප කිරිම් මෙන්ම ඔවුන්ගේ අදහස් කෙරෙහි කිසි විටෙක ජවිපෙ කරුණා සහගත නොවන බවය. එසේම 13 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූ හරිනි අමරසූරියට බෙදුවේද සමන්මලී ගුණසිංහට බෙදූ පොල් කටු හැන්දෙන්මය. එසේම, හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධව, දෙරණ ප්‍රශ්න කළ අවස්ථාවේ ටිල්වින් සිල්වා විය නො හැකිවූ අනුර කුමාර දිසානායකගෙන් දිස් වුණේ, ජංගියේ චූ ගිය දරුවෙකුට සමාන පසුතැවිල්ලක් මිස වේදිකාවේ රඟන කයියනායක නම් විධග්ධ දේශපාලනඥයා නම් නොවේ. මේ සියල්ල එකට ගලපා ගත් කල්හී අතීතයේ ජවිපෙ රැල්ලට හසු නොවී පන බේරා ගත් ලාංකේය ජ්‍යෙෂ්ඨ පුර වැසියන් මාලිමාව දකින්නේ විනාසකාරි විජේවීරගේ අවතාරයට වඩා යමක් නොවේ.

මෙවැනි විග්‍රහයන් දුටු සැනින්, රළු භාෂා ශෛලියෙන් නාකියා කඬේ යන්නා යනුවෙන් බැන වැදීමට ටිල්වින්ලා අනුරලා මාලිමා ශ්‍රාවකයන් උපදෙස් දී ඇත්තේ සිය මතවාදී බංකොලොත් භාවය වසා ගැනීමටය.

වෙසක් සමයේ පේරුදුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව තෙක් දිවයින පුරා පැතිරී පැවති ශ්‍රී ලාංකේය දන්සැල් සංස්කෘතිය නිරූපිත වෛවර්ණ ලංකා සිතියම පිළිබඳ මතුගම පුර අපි නම් මුහුණු පොත් ගිණුම් හිමියා, “මුන් නම් අමුතු ජීවින් පිරිසක්. මෙච්චර ආර්ථික උද්ධමන ආර්ථික අපහසුකම් තිබියදී තම ධනය දෙන්න පුලුවන් කියන්නේ මුං ඔක්කෝටම අමු කැවිලද? යනුවෙන් කළ ප්‍රකාශය ඇසුරෙන්, උතුර දකුණ බැඳ තබන සංස්කෘතික උරුමයන් කෙරෙහි පවත්නා ජවිපේ වෛරය තේරුම් ගත හැකිය.

තවත් මාලිමා ශ්‍රාවකයෙකු “මුන් දන්සල් දෙන්නේ බලෙන් එකතු කරන සල්ලි වලින්….. ” යනුයෙන් ලියා තිබිණ. එය දුටු කෙනෙක්, “තමුසෙලා මැයි දිනේට යන්න ටිකට් වික්කෙත් ගෙවල් ගානේ ගිහින් මිනිස්සු බය කරලා නේද?” කියා අසා තිබිණ. මතුගම පුර අපි පොහොට්ටුවට සටහන් යෙදූ බොහෝ දෙනා අසා තිබුණේ දන්සල් දීම වරදක්ද කියාය. මේ අතර තිබූ තවත් සටහනක් මෙසේය. “රට පුරා මෙහෙම දන්සල් දුන්න කියලා දැන ගත්තාම මිනිස්සුන්ට හිතෙයි ඇත්තටම රටේ ප්‍රශ්න නෑ. පාලකයන් කියන්නේ ඇත්ත කියලා.” සත්‍ය වශයෙන්ම මාලිමාවට ඇති ප්‍රශ්නය එයයි. (එයින් බොරුවක් ඇත්තක් කිරීමට දරණ උත්සාහය දැකිය හැකිය.) ජෙප්පන් වඩාත් කැමැති මැරි මැරී ජිවත්වන ජන සමාජයක් දැකීමට විය හැකිය.
අලුත් අවුරුදු කාලෙත් අමාරුයි කී කෙනෙකු ගෙන්, “ඇයි ගෙදර වළඳක් ලිපේ තියන්න බැරි තරමට හිඳිලාද? පෙරළා විමසූ විට ලැබුණ පිළිතුර “නෑ අපට එහෙම අවුලක් නෑ. ඒ වුණාට රටේ මිනිස්සුන්ට අමාරුයිනේ”යන්නය. මේ කියන අනුන් වෙනුවෙන් පෙනී සිටින්නන් කරන්නේ අනුන්ගේ කාලකන්නිකම බෙදා හරිමින් සතුටක් ලැබීමය. රටේ මිනිස්සු දන්සල් දෙනවා දැකීම සතුටක් ලැබිය නො හැක්කේ රටේ තත්වය යහපත් යයි සිතීමටත් අකමැති නරුමයන්ට පමණකි.

පොදු දේපල විකිණීමට එරෙහිව මා සමග කියවා ගත් මිතුරෙකුට ක්‍රිකට් පුහුණුවට තෝරා ගත් 13 හැවිරිදි දියණියගේ කොළඹ යාමට සිදුවීම නිසා ඇපරල් රස්සාවෙන් අස්වී එදිනෙදා වියදම සඳහා නැතිබැරිකමට තාත්තා දුන් ඉඩම් කෑල්ලක් වික්ක මොනරාගල බට්ටිගේ අම්මා මෙන් රටක් හැටියට අවදානමකදී ශක්තිමත්ව මුහුණ දිය යුතු බව කී අවස්ථාවේ, “ලංකාවේ ආණ්ඩුවයි රටේ මිනිස්සුයි ආදර්ශයට ගන්න ඕනැ බට්ටිගේ අම්මාද ? කියා විමසීය. “එහෙනම් කළ යුත්තේ අනුන් ගෙන් පිනට කන අඳින අනුර කුමාරලාට රටේ පාලනය භාර දීමද? මගේ ප්‍රහාරාත්මක ප්‍රතික්‍රියාව හමුවේ මිතුරා මොහොතක් නිරුත්තර විය. “බට්ටිගේ අම්මා මාලිමා රැස්වීම් වලට ගියා නම් අර කෙල්ලට සිද්ධ වෙන්නේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න නොවේ. මාලිමා පෝස්ටර් ගමේ අලවන්න” කී විට, මා දෙස රවා බැලූ සගයා තිත්ත කුණු හරුපයක් කියාගෙන යන්ට ගියේය.

දන්සල් සංස්කෘතියෙන් පිළිබිඹු වන්නේ අපට ආවේනික සංස්කෘතික හැසිරීමද නැතහොත් සුඛිත මුදිත ජන ජීවිතයක හරස්කඩක්ද යන්න විමසීම, මගේ මාතෘකාවට අදාළ කරුණක් නොවේ. එහෙත් විදුලිය ජලය වැනි අත්‍යාවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව ජනතාව නිදහසේ භුක්ති 88-89 කාලවල, රටේ මිනිස්සු ලයිට් නිවා ලිප ගිනි නො දල්වා නිදි නැතිව බයෙන් ජීවත් වීමට සිදු වුණේත්, ඉන්ධන පරිවාහනය සේවා පැවතියදී මගී ප්‍රවාහනයට තහංචි දැම්මේත් සාමාන්‍ය මිනිසුන් නොව, ජවිපේ මිනීමරු උම්මත්තකයන් විසිනි.

මගේ රනිල් ආයෙත් පරද්දමු ලිපිය කියවූ මාලිමා ඉහළ මාලයේය නියෝජනය කරන්නෙක් වට්ස්ඇප් හරහා විමසා සිටියේ, “හැබෑටම රනිල් දිනයිද? කියාය. “එසේය ”යයි මා දුන් පිළිතුරු දුටු හෙතෙම, “එහෙනම් රනිල් පරද්දමු කියා ලියා තිබුණේ ඇයි ? දැයි විමසීය. මා ලේඛනයේදී රටේ පවත්නා යථාර්ථය මිස රැළි වලට එන සෙනග සැලකිල්ලට නො ගන්නා බව පසුව, සිය මාතෘකාව වෙනස් කළ මිත්‍රයාගේ සටහනේ මෙසේ විමසා තිබිණ.

“දන්නවාද මහනුවර නගරාශ්‍රිතව නිවෙස්වල දරුවන් විදෙස් ගතවීම නිසා බහුතරයක් මහලු වැඩිහිටියන් ජීවත් වෙන්නේ වැඩ කාරයන් සමග කියා….? මා පෙරළා, “ඒ කියන්නේ මාලිමා පාලනයක් යටතේ ලාංකිකයන්ට විදෙස්ගතවීම තහනම් කිරීම ෂුවර්... යනුවෙන් සිනහ ස්ටිකරයක් සමග මා මැසේජ් කළ විට, “අපි දෙන්නා කාලය නාස්ති නො කර ඉමු” කියා මගේ මිත්‍රයා, නිහඬ විය. මිත්‍රයා නම් නො කර මේ අදහස් හුවමාරුව මා උපුටා දැක්වන්නේ, තාර්කික කතාබහක් පවා මෙසේ මගහැර යන්නේ පුද්ගල නො හැකියාව නිසා නොව, වෛද්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කළ ආකාරයට, මාලිමාවට මුද්‍රිත (නිශ්චිත) ප්‍රතිපත්තියක් නැති නිසා ය.

රටේ දරුවන් විදෙස් ගතවීමෙන් වැඩිහිටියන් තනිවේවි යන්න මාලිමාවේ ඉසව්ගත ජාතික ගැටළුවක් නම් අනුර කුමාර ලෝකය වටේ යමින් පක්ෂයට අරමුදල් මුදල් එකතු කිරීම හිතට එකඟව නො කළ යුතුවේ. එසේම ඔහු එවැනි කිසිදු හමුවකදී දරුවන් විදේශ ගතවීමෙන් ලංකාවේ නිවෙස්වල තනිවූ වැඩිහිටි මව්පියන්ගේ අසරණ භාවය පිළිබඳ කතා කර නැත.

දේශපාලනඥයන්ගේ තක්කඩිකම යනු ජනතාව විසින් හඳුනා ගෙන පිළියම් කළ යුතු අසනීපයක් වන අතර, 2022 අප්‍රේල් වලදී බොහෝ තක්කඩින්ට ඊට නිසි මාත්‍රා ප්‍රමාණය සාධාරණව බෙදා දුන් බව පිළිගත් සත්‍යයකි. (තමා සාර්ථක පාලකයෙකු බව රටක් ගොඩ දැමීමෙන් තහවුරු කළ ජනාධිපති වික්‍රමසිංහ තම නායකත්වය තහවුරු කිරීමට එක දිගට අසමත්වීමද මෙහිදී අවධාරණය කෙරෙයි.)

ජයවේවා කියමින් මාලිමාවට සුබ පතන රාජ්‍ය සේවයේ බහුතරය තම බත් පතට හෝ අවංක නැත. ස්වකීය පැමිණීම සහ පිටවීම වාර්තා කිරීමට භාවිතා කළ පොත ඉවත් කොට, තාක්ෂණය යෙදීමට එරෙහිව වන්නේ වැඩ නො කර පඩි ගැනීමට හුරුවී ඇති නිසාය. එක දිගට පාඩු ලබන රාජ්‍ය ආයතන වලින් වාර්ෂික බෝනස්, 13 වෙනි මාසයේ වැටුප ආදි අහිමි දීමනා සඳහා අකුරට වැඩ කරමින් රටට වදයක් වන්නේ හිතේ කැතකම නිසාය. මෙකී හැසිරීම් හඳුනා ගෙන සිය රැකියාවට රටට වැටුප් ගෙවන ජනතාවට අවංක වීමට රාජ්‍ය සේවයට කියා නො දෙන මාලිමා ඔලු බක්කන් රටේ වංචා දූෂණ නැති කරනවා කීමත් රට රැවටීමකි.

එසේම ආපසු අය කර ගන්නවා කියන මෙතෙක් සොරා ගත් බව කියන, රජයට අහිමි වූ හැම කාසියක්ම දූෂිත දේශපාලනඥයන්ගේ සාක්කුවට යාමට රාජ්‍ය නිලධාරින් සිව් දෙනෙකු සහතික කිරීමේ මුදල් රෙගුලාසි අනුව, ආණ්ඩු පෙරළියකින් තොරව එක් රැයකින් රටේ දූෂණ වංචා නතර කරවීමට මාලිමාවට හැකියාව ඇතද, වෘත්තීය සමිති ශක්තියෙන් පාලකයන් සහ ජනතාව දඬු කඳේ ගැසීමට මිස රාජ්‍ය සේවයට අත තැබීමට මාලිමාවට ශක්තියක් සූදානමක් නැති බව රජයේ රස්සා නො කරන, මාසික වැටුප් නො ලබන හේනේ කුඹුරේ වැඩ පොළේ සාගරයේ දහදිය හෙලමින් ජීවිත සටන කරන රටේ බහුතර ජනතාව වටහා ගත යුතුවේ.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) 

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here