වර්තමානයේ පැන නැගී ඇති අභියෝග සමඟ මෙරට ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසනීයත්වය ඇති කිරීම තමාගේ පළමු අරමුණ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය ස්ථාවර වු සෞඛ්‍ය පද්ධතියක් වන බව ද එහි අතිවිශිෂ්ට මානව සම්පතක් කටයුතු කරන බවද නිසි ක්‍රමවේදයක්, නිසි දැක්මක් සමග මෙම ක්ෂේත්රය ඉහළට ඔසවා ගැනීම අපහසු කාරණාවක් නොවන බවයි.
ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ තමන් නොපැකිළිව ගන්නා බවත්, එම තීන්දු තීරණ ගැනීමේ දී සෑම කෙනෙකුම සතුටු කිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී සාධනීය කරුණු කොතෙක් ඉටු කරගත හැකි දැයි කියන කාරණාව තමන්ට තිබෙන ප්‍රශ්නයක් බවත් මේ කටයුතුවලදී ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය බැලීමට ද කෙටි කාලයක් ගත වන බව ද අවධාරණය කළේය.
සැමගේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරගෙන ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසන අතරම සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් සාමුහිකත්වයෙන් කටයුතු කරමු යැයි ඉල්ලීමක් ද අමාත්‍යවරයා කළේය.
මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ, කලකට පසුව සෞඛ්‍ය විෂය පිළිබඳව අවබෝධයක් තිබෙන අමාත්‍යවරයකු ලැබීම සතුටට පත්වන බවත්, මෙම අමාත්‍යංශය භාර ගැනීම පිළිබඳව ද ස්තුතිය පළ කරන බවයි.
වෛද්‍යවරුන්ගේ වැටුප්, ප්‍රවාහන දීමනා, සීමාවාසික වෛද්‍යවරුන්හට ලැබෙන වැටුප් හා දීමනා, වෛද්‍යවරුන්ගේ තනතුරු හා උසස්වීම්, දේශීය හා විදේශීය පුහුණුවීම්, වෛද්‍ය පීඨවල පවතින ගැටලු, සේවා කාලය, විමර්ශන කටයුතු, ඖෂධ වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.