ආර්ථික අර්බුදය හමුවේ ජාතිකවාදී ව්‍යාපාර වල හිටපු අපේ භූමිකාව මොකක්ද කියලා ජනතාවට පැහැදිලිව කියලා මේ මොහොතේ රට වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද කියලා සමාජ කතිකාවතක් ඇති කරන්න තමයි අපි මේ රටපුරා සම්මන්ත්‍රණ සංවිධානය කරමින් යන්නේ යනුවෙන් නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා රත්නපුරයේ පැවති “නොකළ යුත්තේ කුමක් ද” සම්මන්ත්‍රණය අමතමින් ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ අද ඉඳලා ගත්තොත් ජනාධිපතිවරණයට හරියටම තියෙන්නෙ දවස් 48යි.

මේ වෙලාවේ ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවණතාවන් ඇතිවන මොහොතක්, අද වෙනකොට හමාස් දේශපාලන නායකයා ඉස්මයිල් හනියේ ඉරානයේ දී ඝාතනය වීමත් එක්ක ඉරානය, ඊශ්‍රායලයට පහර දෙන්න ලෑස්තිවෙලා ඉන්න මොහොතක්, මුළු මැදපෙරදිගම යුද බියෙන් ඇළලී ගිහින්, සමහරවිට මේක තුන්වන ලෝක යුද්ධයක ආරම්භය වෙන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙම යුද්ධයක් ඇතිවුනොත් ඒක අපිට සෘජුවම බලපානවා. බොරතෙල් මිල, මැදපෙරදිග අපේ ශ්‍රමිකයන්ගේ රැකියා, කෙටියෙන් කිව්වොත් නැවත වතාවක් අපේ රටේ ආර්ථික අර්බුදයක් එන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා.

ඒ වගේම තමයි තව දවස් හැත්තෑවකින් හෝ අසූවකින් ඇමරිකාවේ ජනාධිපතිවරණය එනවා. මේ වෙනකොට සමීක්ෂණ වාර්තා වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් කමලා හැරිස් මහත්මිය ඉදිරියෙන් ඉන්නවා.

ඉන්දියානු ජාතික සම්භවයක් තියෙන ඒ කමලා හැරිස් මහත්මිය බලයට ඇවිත් ජනාධිපති උනොත් භූ දේශපාලනයේ අපි ටිකක් අවාසිදායක, තීරණාත්මක තත්ත්වයකට පත්වෙනවා.

එහෙම අවස්ථාවකදී අපිට ඕන වෙනවා හොදට ජාත්‍යන්තර සබදතා කළමනාකරණය කරන්න පුළුවන් හොද නොබැදි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන නායකයෙක්. එනිසා අතීතයේ පැවති ජනාධිපතිවරණ වගේ නෙවෙයි දවස් 48කින් එන ජනාධිපතිවරණය අපේ රටට තීරණාත්මකයි.

අපි දැක්කා මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ තිබුණු තත්ත්වය. තෙල් තිබුණේ නෑ, විදුලිය තිබුණෙ නෑ, අපේ හිටපු නායකයන්ට ඒක කළමනාකරණය කරගන්න බැරි වුණා. හැබැයි මහින්ද ජනාධිපතිතුමා 2022 , මැයි මාසේ 09 වැනිදා රෑ 7.11ට ඉල්ලා අස්වුනාට පස්සේ, මගේ නායකයා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉස්සෙල්ලම දුරකථනයෙන් කතා කරලා මේ රට භාරගන්න කියලා ආරාධනය කළේ විපක්ෂ නායකතුමාට. ගෝඨාභය ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැක්කා. හැබැයි 10 වෙනිදා හවස 06.32 විපක්ෂ නායකතුමා සාකච්ඡා වලට ආවේ නෑ. ඒ වෙනුවට එරාන්, කබීර්, හර්ෂ මන්ත්‍රීවරු එවලා කතා කළේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන දවස ගැන. සාකච්ඡාව දික් ගැස්සෙනකොට ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා, මම ඉල්ලා අස්වෙලා යන්න සූදානම් ඒක මම ලිඛිතව දීලා යන්නම් මේ අර්බුදය කළමනාකරණය කරන විදිය කියන්න.

ගෑස් නැති රටේ, තෙල් නැති රටේ, අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බල්ලෙක් වගේ මරලා දාලා, දමිතලා, රැට්ටලා, අප්පච්චිලා ටික තමයි මේකෙ බලය අරගෙන හිටියේ. ආරක්ෂක හමුදාවත් පොලිසියත් පස්සට ගිහින් හිටියේ. හැබැයි එදා සජිත් ප්‍රේමදාස මහත්තයට ඒකට උත්තරයක් තිබුණෙ නෑ.

දැන් කියනවා සුරංගනා කතා ගොඩක් එක්ක රැකියා පනස්දාහක් දෙනවලු, අස්වැසුම නැවත ජනසවිය කරනවලු, වතුකම්කරුවන් වතු හිමියන් කරනවලු. මේවා කරන්න තිබුනෙ එදා අවුරුදු දෙකකට කලින් අගමැති ධුරය බාරගෙන කියලා මම කියනවා.

විපක්ෂනායකතුමා පපුවට ගහගෙන කියන්නේ මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා කියලා. මම කියනවා නෑ.ෙ රණසිංහ ප්‍රේමදාස මහත්තයට තිබුණු කොන්ද, ඒ ස්ථානෝචිත ප්‍රඥාව, ඒ අර්බුද හමුවේ නොසැලෙන නායකත්වය, ගෑවිලාවත් නෑ මේ විපක්ෂ නායකවරයාට. එදා රණසිංහ ප්‍රේමදාස මහත්තය භාරගත්තේ කොහොම රටක්ද? දෙකොන ගිනිගත්ත රටක්, උතුරේ ප්‍රභාකරන් ප්‍රමුඛ නිජබිම්වාදීන් සටන් කරනවා, දකුණේ සමාජවාදී රාජ්‍යයක් හදන්න විජේවීර මහත්තයාගේ කණ්ඩායම මිනී මරනවා. එහෙම කොන්දක් සජිත් ප්‍රේමදාස මහත්තයට නෑ. ඒක නිසා අපි අපේ ජනතාවට කියනවා මේ විපක්ෂ නායකවරයාගේ සුරංගනා කතා අහන්න වෙලාව නෙවෙයි.

ඊළඟට අපේ සමාජවාදී නායකතුමා දැන් දිගින් දිගටම පටන් අරගෙන තියෙනවා අලුත් අලුත් සෙල්ලම් ටිකක් දාන්න. රාජ්‍ය සේවකයන් වැඩ කරන වෙලාවකදී මැතිවරණ රැස්වීමක් අපි කළානම් එහෙම මැතිවරණ කොමිසම ළඟට ගිහිල්ලා ඔය සහෝදරවරු ටික උද්ඝෝෂණය කරනවා මැතිවරණ නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරනවා කියලා. හැබැයි ගිය සතියේ දවසක වැඩ කරන වෙලාවේ ගුරුවරු ටික ගෙනල්ලා ගුරු සමුළුව කරද්දී ඔය කවුරුත් මැතිවරණ නීති ගැන කතා කළේ නෑ. නිල ඇඳුමින් හෙදියෝ ටික ගෙනල්ලා හෙද සමුළු කරද්දී මෙරට කිසිම නායකයෙක් ඒ ගැන කතා කළේ නෑ. ඒ වගේම තමයි අපි දැක්කා මාධ්‍ය වල සමාජවාදී නායකයා ඉතාම නිර්ලජ්ජිතව ඒවා සාධාරණීකරණය කරනවා.

ඒ නිසා මේ රටට ඕන වෙන්නේ බොරුකාරයෝ, කයිවාරුකාරයේ නෙවෙයි. මේ රටට දැන් ඕන කරන්නේ දැක්මක් තියෙන නායකයෙක්, අහට උසට ගියපු උද්ධමනය අඩු කරන්න පුළුවන්, ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන්න පුළුවන් ඉන්දියාවට, චීනයට, ඇමරිකාවට යට නොවී නොබැඳි විදේශ ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුළුවන්, වැටිච්ච රට තවත් අඩි දහයක් පහළොවක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක්, ඉතින් එහෙම නායකයෙක් විදිහට අපි පේනමානයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි.

ඒ නිසා තමයි අපි ජාතිකවාදී කඳවුරේ ඉඳලා ඇවිත් මේ විදිහට ජනතාව දැනුවත් කරන්නේ. අපිට අපේ රට වටිනවා. මේ වෙලාවේ අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ T20යක් දවස් 48යි ඔබ විශ්වාස කරන්න. තව දවස් 48කින් රටේ නවවැනි විධායක ජනාධිපති පත්වෙනවා. ඒ වෙනුවෙන් සබරගමු පුරවරයේ ඔබට අපි ආරාධනා කරනවා අපි එකතු වෙමු. බොරුකාරයින්, කයිවාරුකාරයින් වෙනුවට අපේ රට සියලු පැතිවලින් බලගන්වලා, ශක්තිමත් ආර්ථිකයක් අපරාජිත රටක් ගොඩනඟන රනිල් වික්‍රමසිංහ මැතිතුමා යළිත් ජනාධිපති කරමු කියලා ඉල්ලා සිටිනවා යැයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here