චමෝදි ප්‍රබෝධා මුණසිංහ දැන් ලංකාව පමණක් නොව ක්‍රිකට් ලෝකයම දන්නා චරිතයකි. මා චමෝදි ප්‍රබෝධා දකින්නේ ගතික ලාංකේය සමාජයේ

හරස් කඩක් හැටියටය. ජාත්‍යන්තර තරඟ තුනකට සහභාගි වී සිය අනන්‍යතාව සනිටුහන් කළ චමෝදි තවමත් දා හතර හැවිරිදි ය. සූරියවැව ජාත්‍යන්තර තරගයේදී ඕස්ටේලියානු ඉනිමේ හයවෙනි පන්දු වාරය යැවීමට පන්දුව අතට ගත් “බට්ටි” දෙස පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩිකාවන් අවිනිශ්චිතව බලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

සුප්‍රකට රත්ගම දේව පතිරාජය බිහි කළ ශෂිනි ගිම්හානි 15 හැවිරිදි ය. 14 හැවිරිදි  “බට්ටි” මොනරාගලත් පුදුම කරවීමට බොහෝ හේතු කාරණා යෙදී තිබිණ. දුර්භාග්‍ය, නැතිබැරිකම, මන්ද පෝෂණය, අගහිඟකම පිළිබඳ ලෝක බැංකු වාර්තා නිශේධ කළ “බට්ටි”ගේ පවුල රටේ පවත්නා යතාර්ථවාදි පැවැත්ම තහවුරු කර හමාරය.

බට්ටි පන්දු යැවූ පළමු ඕවරයේදී පිති කාරියන් දෙදෙනා ලකුණු හතක් පහසුවෙන් ලබා ගත් නමුත් ඇය දෙවන පන්දු ඕවරයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රබලම ක්‍රීඩිකා 19 හැවිරිදි අමී ස්මිත් දවා ගත්තාය. ගාලු ක්‍රිඩාංගණයේදී ලකුණු 34දී කඩුලු 3ක් ලබා ගත් ඇය, මොනරාගල බට්ටි වෙමින් පසුගිය අප්‍රේල් 9 වෙනි අඟහරුවාදා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තාය.

දැන් “බට්ටි”හෙවත් චමෝදී කුඹුක්කන ගමේ චමෝදි නොවේ. රටේම තවත් අපේක්ෂාවක් වන්නීය.

14 හැවිරිදි චමෝදිගේ උපන් රට 2020-2024 සිව් වසර තුළ ආර්ථික සමාජ දේශපාලනිකව මුළුමනින්ම කඩා වැටිණ. 2009 අප්‍රේල් 25 දින උපන් චමෝදිගේ දසවෙනි උපන් දිනය එළඹියේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් දින හතරකට පසුවය. 2019දී 10%ක්ව පැවති ලංකාවේ දරිද්‍රතාව ලෝක බැංකුවට අනුව 2022දී 11.7% තෙක් ඉහළ යා යුතු විය.

අප්‍රේල් අරගලය පුපුරා ගිය 2022දීත් මොනරාගල යනු ප්‍රගති සමාලෝචන ලැයිස්තුවේ අගු කොන් සටහනකි. කොවිඩ් වසංගතය, ආර්ථික පීඩනය, මන්ද පෝෂණය කොළඹට වඩා ඇය උපන් කුඹුක්කනට තදින් දැනිණ. දරු තිදෙනෙකුගේ වගකීම් පැවරුණ චමෝදි ප්‍රබෝධාගේ මව් පියන්ට සත් රුවන් පහළව නො තිබිණ. චමෝදිගේ මව ඇපරල් ආයතනයක රැකියාව කළාය.  චමෝදිගේ පියා ගමේ කඩයක වෙළඳ සේවකයෙකි. චමෝදිගේ අක්කා උසස් පෙළ පන්තියේය.  මල්ලී දෙවන වසරේ ය.

පාසල් අභ්‍යාස පොතපතේ මිල පවා ඉහළ ගිය රටේ කන බොන අඳින පළඳින සියල්ල හිඟ විය. ප්‍රවාහනය ඇන හිට පාසල් වැසී ගියේය. අදටත් දේශපාලකයන් සිහිපත් කරන බංකොලොත් ලංකාවේ හේවා මුණසිංහලාගේ චමෝදි ප්‍රබෝධා හෙවත් බට්ටි ස්ථානගතව සිටියේ කොතැනද? චමෝදිගේ මව් පියන්ගේ කැපවීම ප්‍රාතිහාර්යක් නො වන්නේ මොවුන් අරගලයට හෝ මැයි 9 වෙනිදා ගෙවල් ගිනි තැබීමට එක් නොවූ නිසාය. ගෝල්ෆේස් අරගලයට වඩා ප්‍රබල න්‍යාය පත්‍රයක් ඔවුන්ගේ ජීවිත වලට බද්ධව තිබිණ. වන අලි හිරිහැරයට එරෙහිව විප්ලව කාරයන් සමග මාධ්‍ය හමුවේ පෙළපාලි නො ගිය මුණසිංහ දෙමහල්ලන් දෙමාපියන් දරුවන් රැක බලා ගනිමින් සුවිසාල යුතුකමක් මේ වනවිට උපන් රට වෙනුවෙන් ඉටු කර හමාරය.

මොනරාගල පඤ්ඤානන්ද පාසලේ පැති විකෙට්ටුව විවෘත කළ දවසේ චමෝදිගේ හැකියාව ඉස්මතු වීමත් සමග මුණසිංහ පවුලට පැවරුණ වගකීම සිය ගුණයෙන් ඉහළ ගියේය. මැතිවරණ ඉල්ලමින් රට බංකොලොත් කියන කිසිවෙකු මේ දෙන්නා දෙමහල්ලන් රටේ ජීවත්වන පුර වැසියන් ලක්ෂ ගණනකගේ අරමුණු ඉට් කිරීමට සහාය වී නම් රටට මේ විනාසය සිද්ධ වෙන්නේ නැත.

රටට රන් පදක්කම් ගෙනා වලල තරුෂි කරුණාරත්න දැරියව කොවිඩ් වසංගත කාලයේත් සිය සේසත උගස් කොට ශක්තිමත් කළේ ත්‍රි විලර් රියැදුරෙකු සහ ගෘහනියකවූ ඇගේ මව්පියන් දෙදෙනා මිස රටේ දේශපාලනය නොවේ. රටවල් 128ක්  සහභාගි වූ ජාත්‍යන්තර බේස්බෝල් ප්‍රදර්ශන තරගයට ලංකාවෙන් තෝරා ගත් එකම ක්‍රීඩකයා දඹුල්ල වෑවලවැව ගමේ දෙ මැට්ට නො ගැසූ කටුමැටි ගෙයක ජීවත්වන දිලීප් සෙනෙවිරත්න ය.

චමෝදිලා තරුෂිලා හෂාන් දිලිප්ලා ඇතුළු ලංකාවේ පාසල් දරු දැරියන්ගේ මන්දපෝෂණ තත්වය මෙන්ම දෙමාපියන්ගේ දරිද්‍රතාව මැඩ මොවුන් ලෝකය දිනා ගත්තේ ස්ව ශක්තියෙන් මිස පිකටින් අරගල හරහා නොවේ.

ක්‍රිකට් පුහුණුව සඳහා චමෝදි දියණිය සංචිතයට කැඳවීමත් සමගම ඇයගේ රැකවරණය වෙනුවෙන් සිය රැකියාවෙන් ඉවත්ව ඇය පසුපසින් ගිය චමෝදිගේ මව නැති බැරිකම් සපුරා ගත්තී තමන් සතු ඉඩමක් විකුණාලාය. මෙහිදී චමෝදි සමග ඇයගේ මව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ පුවරුවක් අතැතිව මාධ්‍ය ඉදිරියේ පෙනී සිට තම වියදමට ගාස්තු ලබා දෙන් නැතැයි ලෝකයට කියන්ට ගියේ නැත. වැඩ වර්ජන කළ දින වෙනුවෙන් හිඟ වැටුප් මෙන්ම පාඩු ලබන ආයතනයෙන් බෝනස් ඉල්ලන ලංකාවේ වෘත්තීය සමිති පැවැත්මට අනුව චමෝදිගේ අම්මා පැවැත්මෙන් යථාර්ථවාදි වේ. දරිද්‍රතාව මන්ද පෝෂණය නැති බැරිකම පෙළ ගස්වා එක මිටට වීදි බසින ව්‍යාපාර වලට චමෝදිගේ තරුෂිගේ අම්මලා ගොදුරු වී නම් අපට තරුෂිලාත් නැත. චමෝදිලාත් නැත.

මෙහිදී දැල් පන්දු ක්‍රීඩිකා තර්ජනී ශිවලිංගම්ද චරිතයකි. 1978 දෙසැම්බර් 30 වෙනිදා යාපනේ එවිනායි පුන්නලායිකඩ්ඩුවන් ගමේ උපන් තර්ජිනී ශිවලිංගම් මිරිස් වගා කළ හේන් ගොවියෙකුගේ දියණියකි. ඇයට හොඳ නරක තේරෙන අවදියේ එල්ටීටීය සක්‍රියව තිබිණ. තර්ජනී ශිවලිංගම්ගේ පවුලේ කිසිවෙකු ප්‍රභාකරන්ට එකතු වී නම් ලංකාවට ඒ දැන් පන්දු ක්‍රීඩිකාව හිමි වන්නේ නැත. ජීවත්වූ නිවෙස යුද්ධයෙන් විනාස වූ නිසා ශිවලිංගම් පවුලම නැගෙනහිරට සංක්‍රමණය විය. නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් දිනා ගත් තර්ජිනී ජාතික සංචිතයට තෝරා ගැනුණේ තිස් හැවිරිදි වියේදීය.

අරුන් සිද්ධාර්ථන් වරක් කී පරිදි යාපනේ කෘෂි කාර්මික ගොවිතැනේ සාර්ථකත්වයේ රහස ගොවීන් දේශපාලනඥයන්ට අනුගත නො වීමය. අදටත් ලංකාවේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල පහත වැටෙන්නේ යාපනේ එළවලු අස්වැන්න ළඟා වීම හේතුවෙනි. යාපනේ නිසරු පොළොවට වැඩියෙන් පොහොර සහ වතුර අවශ්‍ය වේ.

උතුරට සූර්ය බල ශක්ති පැනල හඳුන්වා දුන් පසුව යාපනේ ගොවින් මුලින්ම එකී තාක්ෂණය යොදා ගත්තේ ආඬියා ළිං සඳහා ය. නියඟයෙන් කන්න පාළු වුණත් නාමල් කරුණාරත්න සමග පාරට බසින දකුණේ පසුගාමි මානසිකත්වය යාපනේ ගොවීන්ට බෝවී නැත. ලංකාවේ දකුණේ චමෝදිලා තරුෂිලා හෂාන් දිලිප්ලා අරගල දේශපාලනයේ ගොදුරු නොවීම අප ගැඹුරෙන් විමසිය යුතුවේ.

2019 සිට 2023 තෙක් ගෙවී වසර හතරම රටේ ජනතාවට අලුත් අවුරුද්ද කඳුළු කතාවකි. වසර පහකට පසුව එළඹි 2024 අප්‍රේල් 10 වෙනිදා අපට අවුරුදු පණිවිඩය ගෙනාවේ කොහා නොවේ. මොනරගල බට්ටි හෙවත් චමෝදි ප්‍රබෝධා මුණසිංහ ය. මේ ගෙවුණ සිංහල හින්දු අලුත් අවුරුද්ද බට්ටිගේද රනිල් ගේද යන්න ජනතාව සතු තීරණය කි.

අලුත් අවුරුද්දට මුළුතැන් ගෙහි සශ්‍රීකත්වයත්, වෙසක් රාත්‍රීය ආලෝකමත් කිරීමත් වෙනුවෙන් කැප වූ ශ්‍රී ලාංකිකයන් මළගමක් හේතුවෙන් ලිප ගිනි නො අවුළුවන, අසල් වැසියෙක් වේ නම් ඔවුන්ටද වසන්ත සෞභාග්‍යයෙන් බිඳක් බෙදා දෙන අපේ අලුත් අවුරුද්ද යනු ගෙදරක් දෙකක් ගමක් තුලානක් නොව රටක් දේශයක් අගහිඟකම් දෙපයින් මැඩ එක නැකතට සතුටුවන ආශ්චර්යකි.

ගමේ අම්මලා අලුත් අවුරුදු දවස් දෙක තුන  හොඳ දවස් ලෙස සලකන්නේ ඒ නිසාය. හොඳ දවස් සුබ වෙලාවන් සමග ගතවන නිමේෂයෙහි අසුබ යමක් සිතීමත් පාපයක් කොට රටේ මිනිස්සු පළවෙනි දෙවෙනි ලෝක සංග්‍රාම සමයේත් සිංහල අවුරුදු කෑහ. එහෙත් එක මිටට ගොනු කළ කාන්තා ශක්තිය අලුත් අවුරුද්ද අවාසනාවක් අභාග්‍යයක් ලෙස සිතන්නට පෙළඹවීමත් පාපයකි. 2019 සිට 2023 තෙක් ගෙවී ගිය  හතර අවුරුද්දක් අපට අහිමිවූ  අලුත් අවුරුද්ද ලාංකේය ජනතාව 2024දී රිසි සේ අත් වින්දාහ.

1971දී සිංහල හින්දු අලුත් අවුරුදු සතුට රටට අහිමි කළ 71 කැරැල්ල සාර්ථක වී නම්, ලෝකයේ ප්‍රථම අග්‍රාමත්‍ය වරිය ලෙස රටට කීර්තියක් ලබා දුන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය 1971 අප්‍රේල් 6 වෙනිදා රාත්‍රියේ මැරුම් කෑමට නියමිතව තිබිණ. ගමක තරුණයෙකු එවකට විපක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධන හරහා බලධාරින්ට තත්වය දැන්වීම නිසා එකී අපරාධය සිදු නොවීය. අද එක මිටට පෙළ ගැසී රටේ තන දෙ සීයයි ගෑනු සීයයි කියන කාන්තා පරපුර මේ ඉතිහාසය දන්නේ නැත.

කැරැල්ල හේතුවෙන් ලෙයින් කඳුලෙන් සේදී ගිය නවසිය හැත්තෑ එකේ සිංහල අවුරුද්ද සැලකුණේ 1970දී පත්වූ තුනෙන් දෙකක බලය සහිත පාලකයන්ගේ පළමු  අලුත් අවුරුද්ද හැටියටය. ඒ සතුට රටේ ජනතාවට  අහිමි කළ 71 කැරැල්ල නම් තකතීරු වික්‍රමය 2024  අප්‍රේල් පස් වෙනිදාත් සමහරු රටේ තැන තැන අභිමානයෙන් සැමරූහ.

හැට දහසකට මරු කැඳවූ ප්‍රකෝටි ගණන් දේපල විනාස කළ කැරැල්ලේ නායක විජේවීර 1989 නොවැම්බර් 13 වෙනිදා ඝාතනය වුවද ඔහුගේ උවිඳු විජේවීර ඇතුළු දරු පවුලට අබ මල් රේණුවක වරදක් හිරිහැරයක් නො වුණේ  ටේ පැවති දේශපාල සදාචාරය නිසාය.  

2024 මාර්තු අග සතියේ සිට අලුත් අවුරුදු ප්‍රබෝධයෙන් රටේ  ගම් නගර පිබිදිණ. වෙළඳ පොළේ භාණ්ඩ සුලභ විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පහත වැටිණ. පාරිභෝගිකයන් තෘප්තිමත් කළ මේ සංසිද්ධිය සමහර සමාජ මාධ්‍ය දුටුවේ ඡන්ද ගුණ්ඩුවක් හැටියටය. අප්‍රේල් මුල් සතියේ රාජ්‍ය අනුග්‍රහයෙන් පාසල් දරුවන්ට දිවා ආහාර වේල දීමේ වැඩ සටහන දැක පාසල් දරුවන්ට වහ කවනවා වැනි ආතතියකින් හැසිරුණ සමහරුන් ගෙන් විජේවීරගේ දරු මල්ලන් රැක බලා ගත්තේත් ඡන්ද ගුණ්ඩු හැටියටදැයි ප්‍රශ්න කළ යුතුවේ. සියල්ල දරුවන් සඳහාය යන විශ්ව සම්මතය හමුවේත් මේ කාලකන්නි දැක්ම  සංවේදී නොවන හැටියකි.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here