කුමන බලපෑම්, බාධක එල්ල වුවද යුක්තියේ මෙහෙයුම ක්‍රියාන්විතය නතර නොකළ යුතු බව  ජාතික සංඝ සම්මේලනය අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් 24 දා මහනුවරදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ සඳහන් කළේ මෙම මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා අදෘශ්‍යමාන මෙන්ම දෘශ්යමානව පවා බලගතු හස්ත  රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබෙන බවය. 

මෙහිදී තවදුරටත් අදහස් පල කළ ශාසනරතන හිමියෝ මෙසේද කීහ. මෙයට මසකට පමණ පෙර   මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව හා  බුද්ධි අංශ ඒකාබද්ධව  ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම ක්‍රියාන්විතය වර්තමානයේ මෙරටට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බව අද මේ රටම පිළිගෙන තිබෙන කරුණක්. මේ මෙහෙයුම මගින් අද වන විට මෙරට මත් ද්‍රව්‍ය ජාලයේ දැවැන්තයෝ රැසක් නීතියෙ රැහැනට අහුවෙලා තියෙනවා. විදේශ රටවල සිට මෙම ජාලය මෙහෙයවන පාතාල නායකයන්ගේ දේපොළ පවා රාජ සන්තක කරලා තියෙනවා. අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න  තරුණ පරපුර, පාසල් සිසුන් පවා මේ මත්ද්‍රව්‍ය උවදුරට  භයානක විදියට ගොදුරු වෙමින් පැවතුණා. අපේ රටට අනාගතයක්, රටක් පවා නැති වෙන්නයි ගියේ. විදේශීය රටවල ඉන්න පාතාල නායකයන්ගේ බලපෑමට  යටවූ ඊනියා මානව හිමිකම් සංවිධාන මේක නවත්තන්න කියලා බලපෑම් කරනවා. කාලයක් තිස්සේ මේ ජාවාරම්කරුවන්ගෙන් යැපිලා මේවට උදව් කරන දේශපාලඥයෝ ඉන්නවා. ඒ අයත් මේ මෙහෙයුම නවත්වන්න කකුලෙන් අදිනවා.

අද මහ දවල්  බල්ලෝ බලල්ලු ගානට මිනිස්සු මරනවා. විහාරස්ථානවලට පැනලා සංඝයා වහන්සේට පවා වෙඩිතබා ඝාතනය කරනවා. අපරාධ කරනවා. ඉතින් මේවා නවත්වන එකේ වරද මොකක්ද. අපි මහා සංඝරත්නය වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  ඉල්ලා සිටින්නේ කුමන දෙස් විදෙස් බලපෑම් ආවත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාන්විතය නවත්වන්න එපා කියලයි. මේ ක්‍රියාන්විතයට බලපෑම් කරන්න විදෙස් රටකට හෝ සංවිධාන වලට අයිතියක් නෑ. අපේ රට අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ අදෘශ්‍යමාන හස්ත සිදුකරන බාධක සියල්ල පසෙකලා  යුක්තියේ මෙහෙයුම ක්‍රියාන්විතය අඛණ්ඩවම  ක්‍රියාත්මක කරන්න කියලා අපි මහජන ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් වගේම වැඩ බලන පොලිස්පතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා යනුවෙන්ද ශාසනරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(කමල් සුරවීර –  මහනුවර )                                                                                                             

                                                            

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here