Politics

රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී අති බවත් ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමිනි.

රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව “සැබෑව” තේමාව යටතේ මෙම ජන හමු මාලාව සංවිධානය කර තිබෙන අතර කුලියාපිටියේ පැවති පළමු රැළිය සදහා අති විශාල ජනකායක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමතූ පළමු ජන රැළිය ද මෙය වන අතර ක්‍රිඩාංගණයට එක්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

ජන රැළිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද සියලු දෙනා එක්ව කටයුතු කළ යුත්තේ රට ගොඩනැගීමට මිස පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට නොවන බව ද අවධාරණය කළේය.

එසේම අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බවද පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයකට රට ගොඩනැගීමේ සැලැස්මක් නොතිබු බවද කියා සිටියේය.

රට මුහුණදුන් ආර්ථික අර්බුදය පිළිබඳව 2020 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දුන් කරුණු ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිහිපත් කළ අතර ඒ පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version