කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා. කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති අතර මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්රධාන බස් මාර්ගය ඇත්ඔය ප්රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
එමෙන්ම, මේ වන විට ප්රධාන මාර්ගවලට ප්රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති අතර නිවාස ද අවදානමට ලක්වී ඇතැයි වාර්තා වෙනවා. මේ අතර, ගංගා හයක ජල මට්ටම් අවදානම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින්, ඉදිරි වැසි තත්ත්වය සමග මෙම ගංගා ආශ්රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කැලණි, කළු, ගිං, දැදුරු ඔය ,මහ ඔය, අත්තනගලු ඔය යන ගංගාවල ජල මට්ටම් මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ, රත්නපුර සහ ඒ අවට ප්රදේශවලදී කළු ගඟ සහ එහි අතු ගංගා වන කුරු, නිරිඇලි, වේ, දෙනවක යන ගංගාවල ජල මට්ටම අවදානම් මට්ටමක තිබෙන බවත්, මේ නිසා එම ප්රදේශ ආශ්රිතව පහසුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි. රත්නපුර, කුරුවිට, ඇලපාත, පැල්මඩුල්ල, නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පහත්බිම් නිම්නයේ පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.