ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විදේශ රටවල් සමග ඇති කරගත් සියලු ගිවිසුම් තමන් බලයට ආපසු වෙනස් කරන බවට ඇතැමුන් කට මැත දෙඩුවත් වර්තමානයේ පවතින තත්වය අනුව ජාත්‍යන්තරයේ සහාය නොමැතිව රටක් කරනවා කියා සුරුට්ටු කඩයක්වත් කිරීමට නොහැකි බව ජනමාධ්‍ය හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.                                                                                                                      

පාත හේවාහැට, මයිලපිටිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ජන අයිතියට පැවරීමේ වැඩසටහන් සඳහා 30 දින සහභාගී වූ අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.                                                                                      

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය. අද මේ රටේ ජනතාව නිදහසේ හුස්ම ගන්නේ, තෙල් ටික, විදුලිය, ගෑස් අත්‍යවශ්‍ය කෑම ටික පවා ලබා ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2027 දක්වා ඇතිකරගත් ගිවිසුමට අනුවයි. ඔය සමහරු  කියනවා ඒ අය බලයට ආවට පස්සේ ජාත්‍යන්තර ගිවිසුම් වෙනස් කරනවලු, ණය ගෙවන්නේ නෑලු ,එයාලා කියන විදියට පැරිස් සමාජය, ඉන්දියාව, චීනය, ජපානය හා අනෙක් විදෙස් රටවල් අමතක කරලා අවම වශයෙන් සති දෙකක්වත් රට කරන්න හම්බෙන්නේ නෑ. එහෙම කළොත් අපිට මේ තියන තෙල් ටික විතරයි, ගෑස් ටික විතරයි, පොහොර ටික විතරයි, ආහාරපාන ටික විතරයි. වෙන කිසි දෙයක් ගේන්න හම්බෙන්නේ නෑ. විදෙස් ණය නැතුව කිසි කෙනෙකුට මේ රට කරන්න බෑ.                                           

අපි කියන්නේ කඩා වැටුණු රට මේ තත්ත්වයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී අපේ සියලුම දෙනාගේ සහය ලබාගෙන ඉදිරි වසර ගණනාවටත් රට කළ යුතුයි කියන එකයි. එහෙම නැතුව මේ රට කරන්න කෙනෙක් ඉන්නවද.  අද විපක්ෂ නායක සජිත් පාසල් ගානේ ගිහිල්ලා රුපියල් මිලියනයක් වියදම් කරලා එක පරිගණකයක් හා පරිගණක බෝඩ් එකක් දෙනවා. ඒ කරලා සුහුරු පන්ති කාමරයක් ඇරියා කියලා පිස්සුවෙන් වගේ කියවනවා. මෙයා දන්නවද දන්නේ නෑ. අපි ඒ කාලෙ පරිගණක 62 ක් සහිත මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 ක් රටේ පාසල් වලට ලබා දුන්නා. ඉස්කෝලෙකට බස් එකක් දීල කියවනවා. අපි රුපියල් බිලියන 2000 වැය කරලා සිසු සැරිය බස් 1500 ක් පාසල් වලට දුන්නා . තවත් සිසු සැරිය බස් 500 ක් දෙන්න සැලසුම් කරලා තියෙනවා. මෙයා දන්නවද දන්නේ නෑ අපි පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 20 ක් වැය කරනවා. ඉතින් මේකයි තත්වය. මේ පිළිබඳ හරි වැටහීමක් නැති අය පාසල් වලට ගිහිල්ලා දේශපාලනය කතා කරනවා. 

රුපියල් මිලියන 17 ක් වැය කොට සංවර්ධනය කල මයිලපිටිය සිට කිවුලතැන්න දක්වා මාර්ගය ජනතා අයිතියට පත් කිරීම මෙන්ම රුපියල් මිලියන 55 ක මුදලක් වැය කොට සංවර්ධනය කරන මයිලපිටිය අක්කර 05 මාර්ගයේ වැඩ ඇරඹීමද සිදුවීය. මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here