මෙතෙක් ඉටු නොවූ වෘත්තීය ඉල්ලීම් කීපයක් දිනා ගැනීම උදෙසා රට පුරා විසිරී සිටින සියලු සංවර්ධන නිලධාරීන් 08 දින කොළඹට පැමිණ රාජ්ය පරිපාලන අමාත්යාංශය  වටලන බව ශ්රී ලංකා රාජ්ය  නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ,බී.ඒ.බී. බස්නායක පවසයි. 

මහනුවර 07 දින පැවති මාධ්ය හමුවකදී අදහස් පල කළ ඒ මහතා කියා සිටියේ වසර 30 ක පමණ කාලයක් තම රාජකාරි අවශ්යතා  සම්බන්ධයෙන් විවිධාකාර ඉල්ලීම් සිදුකළද එම ඉල්ලීම් සියල්ල බීරි අලින්ට විනා වාදනයක් වූ බැවින් අකමැත්තෙන් වුවද මෙම තීරණයට එළඹීමට සිදුවූ බවය.                                                                                                                 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. අපි කොතෙක් ඉල්ලීම් කළත් මේ දක්වා සේවා ව්යවස්ථාව  ස්ථාපිත කරේ නෑ. බඳවා ගැනීම් හෝ උසස් වීම් සිදු කරන්නේ නෑ. කාර්යාල දීමනාව, ගමන් වියදම් යථාවත් කරන්නේ නෑ. අපිට ලැබෙන සොච්චම් පඩියෙන් තමයි හැම දෙයක්ම කරගන්න ඕනේ. තට්ටු මාරු ක්රමයට පත්වෙන රජයන් හැමදාමත් කැරට් අලේ පෙන්නලා අපෙන් වැඩ ගත්තා විතරයි. සංවර්ධන නිලධාරී කියන රාජ්ය සේවකයා දැන් දෙකේ කොළේට වැටිලා ඉන්නේ. තවත් අපි ඉවසන්න බෑ. අපි රට වටා ඉන්න සියලුම සංවර්ධන නිලධාරීන් 08 වෙනිදා කොළඹ ඇවිත් රාජ්ය පරිපාලන අමාත්යාංශය වටලනවා. ඉල්ලීම් ලැබෙන තුරු  යන්නේ නෑ. අපිට කැරට් අල පෙන්නන  නිලධාරීන්ට අපි කියන්නේ සූදානම් වෙලා ඉන්න කියලයි.

එදාට ශ්රී ලංකා රාජ්ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය, රාජ්ය සේවා ජාතික සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන නිලධාරී සංගමය, සංවර්ධන නිලධාරී නව්ය ප්රමුඛතා  සංගමය, සංවර්ධන නිලධාරි ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය, සමස්ත ලංකා රජයේ උපාධිධාරී සංවර්ධන නිලධාරී සංගමය, ආර්ථික සංවර්ධන වෘත්තිය සමිති සන්ධානය යන සියලුම වෘත්තිය සමිති නියෝජනය කරන නිලධාරීන් සහ නියෝජිතයන්  කොළඹ ඇවිත් මේ විරෝද්ධතාවයට සහභාගී වෙනවා.                                                                                                                

පසුගිය 02 දින සිට අපි අස්වැසුම ජාතික වැඩසටහනින් ඉවත් වුණා. රජය ඉකුත් සංගණනය අත්දැකීම් නැති, උගත්කමක් නැති , ගමේ ගොඩේ වගකීමක් නොමැති පුද්ගලයන් හරහා සිදුකරලා අච්චාරුවක් කර ගත්තා. අද අස්වැසුම ඕන අයට ඒක ලැබෙන්නේ නෑ. රට පුරා ජනතාව දැඩි කෝපයකින් ඉන්නේ. ඊයේ පෙරේදා හාල් බෙදන්න ගිහිල්ලා ග්රාම නිලධාරියකට පහර දුන්නා. දැන් අපිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේම තමයි. අසාධාරණයට ලක් වූ මිනිස්සු මාරාවේස වෙලා අපේ නිලධාරීන්ට ගහන්න එනවා. මරණ තර්ජන කරනවා. ඉතින් අපි කොහොමද නැවතත් අස්වැසුම සංගනනයට යන්නේ. ඒකයි අපි ඒ වැඩසටහනෙන් ඉවත් වුණේ. නමුත් දැන් දිසාපතිවරු, ප්රාදේශීය ලේකම්වරු හා උසස් නිලධාරීන් අපට බලපෑම් කරනවා ඒ වැඩසටහනට යන්න කියලා. අපිට ආරක්ෂාව දෙනවනම් අපි යන්නම්. නැත්නම් කොහොමත් යන්නේ නෑ.  ඉල්ලීම් දිනා ගන්නකං වෘත්තිය  ක්රියාකාරකම් වන්නෙත් නෑ.

මෙහිදී අදහස් පළ කළ ශ්රී ලංකා රාජ්ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති මෙසේ කීය. අපි ග්රාම නිලධාරීන් වසයෙන් මේ වන විට දින දෙකක වෘත්තීය ක්රියාමාර්ගයක් අරගෙන තිබෙනවා. දිවයිනේ සියළුම ග්රාම නිලධාරීන් ලෙඩ නිවාඩු දාලා සේවයෙන් ඉවත් වෙලා ඉන්නවා. ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව ස්ථාපිත කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් තමයි අපි මේ වෘත්තිය ක්රියා මාර්ගයේ නිරත වෙන්නේ. නමුත් රජය නෑසූ කන්ව ඉන්නවා. මේ රටේ බිම් මට්ටමේ ජනතාවගේ සියලු පරිපාලන අවශ්යතා අපේ සහායෙන් තමයි ක්රියාත්මක වෙන්නේ. සියලු ජනතාවගේ උපතේ සිට විපත දක්වා ග්රාම නිලධාරීන්ගේ සහය අවශ්ය වෙනවා. ග්රාම නිලධාරීන් වගේම තවත් බොහෝ රාජ්ය සේවකයන්ගේ වැටුප් විසමතා දැන් ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. තවත් බල බලා ඉන්න බෑ. මේ දින දෙකේ වර්ජනයට අවධානය යොමුකොට අපට පිළිගත හැකි විසඳුමක් ලබා දුන්නොත් වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කරන්න පුළුවන්. නැත්නම් ඒක කණගාටුවෙන් වුවත් අඛණ්ඩව ඉදිරියට අරගෙන යන්න වෙනවා.                          

ශ්රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සංගමය නියෝජනය කරන ශ්රී ලංකා රාජසේව වෘත්තීය සමිති සම්මේලනයේ භාණ්ඩාගාරික මංජුල ආරියරත්න මහතාද මෙහිදී අදහස් පළ කළහ.

(කමල් සුරවීර  මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here