උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකළ රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් දින කීපයක සිට උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කළ අතර අද දින පළාත් සභා ප්‍රධාන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර කිසිවෙකුට එම ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වන ආකාරයට උද්ඝෝෂකයින් විසින් දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණය කරනු ලැබීය.
මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එම ස්ථානයට පොලිසිය කැඳවා උද්ඝෝෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ ද එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය පවසන්නේ මෙම උද්ඝෝෂකයින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඉන්දික රංගජිව – අනුරාධපුරය