උපතින්ම ආබාධිත වීම හේතුවෙන් තමා විසින් ඔසවාගෙන හා රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි තම පුතුට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් දෙන ලෙස මවක් වගකිව යුතු අංශවලින් ඉල්ලීමක් කර සිටියි.

වත්තල සාන්ත අන්තෝනි විදුහලේ ඉගෙනුම ලබන ඕෂද නෙත්මාල් රණතුංග යන ආබාධිත තත්ත්වයේ පසු වන සිසුවා ප්‍රශ්න පත්තරය කියවා දීමට සහ පිළිතුරු ලියාගනිමින් පත්ගත කිරීමට ගුරු භවතුන් දෙදෙනකුගේ සහාය ඇතිව මෙවර අපොස සාමාන්‍ය පෙළ පරීක්ෂණයට පෙනී සිට ඇත.

විභාගයේ සිව්වැනි දිනය වූ මැයි 9 දා බ්‍රහස්පතින්දා ඉංග්‍රීසි විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී කලාප කාර්යාලයෙන් පැමිණි බව කියන විශේෂ විභාග නිරීක්ෂණ නිලධාරිනියක ඒ ප්‍රශ්න පත්‍රයෙන් පසු ඊළඟ ප්‍රශ්න පත්‍රය සිසුවා විසින්ම කියවා පිළිතුරු සපයන ලෙස උපදෙස් දී පිටත්ව ගොස් ඇත.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ සිසුවාට විභාග දෙපාර්තමේන්තුව දුන් සහන ලේඛනයේ ප්‍රශ්න පත්‍රය කියවීමට ගුරුවරයකු යොදවන ලෙස සටහන් වී නැති බවයි.

කෙසේ වුවද අදාළ සිසුවාට ප්‍රශ්න පත්‍රය කියවීමට නොහැකි වීම නිසා පිළිතුරු සැපයීමට නොහැකි වී ඇති අතර, මේ තත්ත්වය තුළ සිසුවාගේ මවුපියන් එදිනම විභාග දෙපාර්තමේන්තුවට නැවත ගොස් දැනුවත් කිරීමෙන් පසු පස්වරු 5.30 පමණ වන විට ‘ප්‍රශ්න පත්‍රය කියවීම සඳහා අදාළ විෂයය පිළිබඳ දැනුම සහිත විශේෂ නිරීක්ෂකයකු අනුමත නිරීක්ෂක සංඛ්‍යාවෙන් පරිබාහිරව පත් කිරීම’ යන සටහනක් සහිතව පත් කර ඒවා තිබේ.

මේ තත්ත්වය යටතේ ඉකුත් සිකුරාදා (10) දිනයේ දරුවා මානසික බිඳවැටීමට ලක් වී සිටි බවත්, එදින විභාග කටයුතුද අඩපණව සිදු කෙරුණු බවත් මවුපියෝ පවසති.

අදාළ දින ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඉඩ දී පසුව යම් පියවරක් ගනු ලැබුවේ නම් මෙවන් තත්ත්වයක් උද්ගත නොවනු ඇති බවත්, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට නොහැකි වීම නිසා නැවත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට අවස්ථාව හෝ පිළිතුරු සැපයූ ප්‍රශ්න පත්‍රයට සාධාරණ ලෙස ලකුණු දීමට පියවර ගන්නා ලෙසත් මවුපියන් අදාළ අංශ වෙතින් ඉල්ලා ඇත.

සිසුවාගේ මව වන වත්තල තෙළඟපාත පදිංචි සුරංගනී නිරංජලා මහත්මිය පවසන්නේ පසුගිය එකළොස් වසරක පාසල් කාලසීමාව තුළ දරුවා වෙනුවෙන් සටහන් ලියාගනිමින් පාඩම් කටයුතු තමා විසින් මෙහෙයවනු ලැබූ බවයි. පාසල් විභාගවලදී පාසලේ ගුරු භාවතුන්ගේ සහය ලැබූ බවත් මව කඳුළු පිරි දෙනෙතින් යුතුව මව සිහිපත් කළාය.

අදාළ ආබාධිත සිසු දරුවා පිළිබඳ සියලු වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් පන්තිභාර ගුරුතුමා මවුපියන් කැඳවා විභාගයට පෙර කලාප කාර්යාලය මඟින් සම්මුඛ පරීක්ෂණ දෙකක් සහ විභාග දෙපාර්තමේන්තුව මඟින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබියදී මෙවන් තත්ත්වයක් ඇති වූයේ කාගේ වරදින්දැයි මේ පිළිබඳ කන වැකුණු සෙසු සිසු දරුවන්ගේ මවුපියෝ ප්‍රශ්න කරති.

මේ අතර එදින සේවයේ යෙදී සිටි ශාලාධිපතිවරයාගේ සේවයද අත්හිටුවීමට කටයුතු කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here