වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා ඉහළින් එම කඩඉම ජයගත් නිවුන් දරුවන් දෙදෙනකු පිළිබඳව නුගේගොඩ කළුබෝවිල ප්‍රදේශයෙන් වාර්තා වේ.

නුගේගොඩ කළුබෝවිල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් දියණිය වන ඩබ්.පී.පී. නිතිකා සාධ්‍යා (13) නුගේගොඩ ශාන්ත ජෝන් (කාන්තා) විද්‍යාලයේ අට වසරෙහි ඉගෙනුම ලබමින් සිටියදී පහුගියදා පැවැති අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට මුහුණ දී අධි සම්මාන හතක් සහ සම්මානයක් සමගින් විභාගය සමත්ව ඇත.

එමෙන්ම ඇයත් සමග එම විභාගයට මුහුණ දුන් ඇයගේ නිවුන් සහෝරයා වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්.පී.පී. නිශාන් සහජිත් (13) ද විභාගයේදී අධි සම්මාන සහ සම්මාන සහතික ලබා ගනිමින් විභාගය සමත්ව ඇත

අඩු වයසකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සදහා දරුවන් දෙදෙනාම අදාල පාසල් වලින් නීත්‍යානුකූලව ඉවත් වීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මග පෙන්වීම මත ⁣තම දරුවන් දෙදෙනාට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා වන ඩබ්.පී.පී.නිශාන්ත මහතා පැවසීය

මෙම ජයග්‍රහණය පිලිබදව අදහස් දැක් වූ නිතිකා සාධ්‍යා දියණිය මෙසේ කීවාය. තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලියෙන් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතු වලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි

තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආස හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කරන්න කටයුතු කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟක් සතුටුයි. මගේ අම්මා නිරෝෂා සෙව්වන්දි තාත්තත් එක්ක හුඟක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here