2025 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය ලබා දෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙනවා.
වාහන ආනයනය පිළිබඳව රජයේ සැලසුම් මෙම සතිය තුළ රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව මෙම අවසරය ලබා දීමට හැකි වන එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9 %කට ආසන්න මට්ටමකින් ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු බවට එකඟ වී ඇති පියවර අතරට වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීමද ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය 2025 වසරේ ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බව සඳහන්.
මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර ඒ අනුව නුදුරේදී ම වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් වනු ඇති බවත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් වනු ඇති බවත් තවදුරටත් සඳහන්.
මීට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් දේපළ බද්ද අය කිරීම, ඉඩකඩම් දේපළ විකිණීමේදී අය කෙරෙන මුද්දර ගාස්තු වැඩි කිරීම, අපනයන සේවා සඳහා දැනට ලබා දී ඇති ආදායම් බදු සහනය ඉවත් කිරීම, ඩිජිටල් සේවා සඳහා වැට් බදු පැනවීම ඇතුළු නව බදු කිහිපයක් ද පැනවෙනු ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.