රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.

දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.

සණස නිර්මාතෘ ආචාර්ය පී . ඒ.  කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් මත ” වැය අඩු කරමු –  අය වැඩි කරමු ” යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාල තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීම ද මෙහි දී සිදු කෙරිණි.

ආචාර්ය පී . ඒ.  කිරිවන්දෙණිය මහතා විසින් එම තුන් අවුරුදු සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළණයක් ද මෙහිදී පිළිගැන්විණි.

එසේම  දිස්ත්‍රික්ක 25 ක් ආවරණය  කරමින් සණස නායකයින් 5,000ක් වෙත  සැලසුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර  මෙම සැලසුම තුළින් ගම්මාන 5,000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමටත්  ඒ හරහා දිවයින පුරා සෘජු හෝ වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත්  සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ පවුල් 300,000 වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බවයි.

ජන ජීවිතය නගා සිටුවිමන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here