විදේශගත රැකියාවක නිරතව සිට නැවත ලංකාවට පැමිණි  කාන්තාවන් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදු කරනු ලබන රක්ෂණය කල් පිරි ඇති බව පවසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු බව පවසමින් දිවයින පුරා මුදල් වංචා කළ පුද්ගලයෙකු හතරලියද්ද පොලිසිය මගින් 18 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම පුද්ගලයා ග්‍රාමීය ප්‍රදේශවල යතුරුපැදියකින් සැරිසරමින් විදේශගතව සිට නැවත පැමිණි කාන්තාවන් සිටිනා නිවෙස් හඳුනාගෙන අදාල නිවෙස් වෙත ගොස් තමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් විදේශගත වන අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවනු ලබන රක්ෂණ මුදල්වලට රුපියල් ලක්ෂ ගණනාවක ප්‍රතිලාභ හිමිවී ඇති බව දන්වා එම මුදල් ලබාදීම සඳහා රජයේ ගාස්තු ලෙස යම් මුදලක් ගණනය කොට එය තමාට ලබා දෙන ලෙසත් ඉන් පසු සම්පූර්ණ මුදල ඇයගේ ගිණුමට බැර කරන බවත් පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති අතර එම කාන්තාවන් අත මුදල් නොමැති අවස්ථාවලදී මුදල් වෙනුවට වටිනා රන් භාණ්ඩ  ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිකුත් කළ බව පැවසෙන ව්‍යාජ හැඳුනුම්පතක් , මෙන්ම ව්‍යාජ කොණ්ඩයක් පැළඳ වෙස් මාරු කරගනිමින් , ව්‍යාජ  ලියාපදිංචි අංක සහිත යතුරුපැදියකින් පැමිණ ඇති මෙම පුද්ගලයා හතරලියද්ද ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු රවටා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගෙන ඇති අතර මේ ආකාරයට තවත් කාන්තාවක් රවටා මුදල් ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් දිවයින පුරා මුදල් වංචා කළ බවද හෙළිව  ඇති අතර  ඔහු සන්තකයේ තිබී මෙලෙසින් වංචා කරන ලද රුපියල් පනස්දහසකට අසන්න මුදලක් හා පිහියක්ද හමුව ඇත. 

මහනුවර පොලිස් අධිකාරි  ජානකී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත යුක්තියේ මෙහෙයුමට සමගාමීව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පොලිස් කමිටු මගින් මෙම පුද්ගලයා අල්ලා  පොලීසියට භාරදී ඇති අතර ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන  සැකකරු මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  

(කමල් සුරවීර  –  මහනුවර)                                               

                                                                                          

                                                                                                                

                                                                                     

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here