ජනාධිපරණයේ තරඟය තිබෙන්නේ සජිත්, අනුර හා රනිල් යන තිදෙනා අතරය.එය තුන් කොන් තරඟයකි.මේ නායකයින් තිදෙනාම මේ අර්බුදය විසින් තියුණු උරගා බැලීමකට ලක්කෙරුණු නායකයින් තිදෙනෙකු ලෙස සැලකිය හැකිය.එම උරගා බැලීමේ පරික්ෂනයෙන් විශිෂ්ට ලෙස සමත්වූයේ රනිල් වික්‍රමසිංහ පමණය.එම පරීක්ෂනයෙන් සජිත් ප්‍රේමදාස සේම අනුර කුමාර දිසානායකද සමත් වී මට අසමත් විය.

එම උරගා බැලීමේ පරීක්ෂනය සිදුවූයේ රට බංකොලොත් තත්වයකට පත්වීමෙන් පසු ඇතිවු මහජන උද්ගෝෂන වල ප්‍රති ඵලයක් වශයෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ආණ්ඩුවක් පිහිටුවා පවත්වාගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා විසින් විරුද්ධ පක්ෂයට ලබා දෙන ලද අවස්තාවේ දී ය.අගමැති ධූරය බාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීම විරුද්ධ පක්ෂයේ නායක සජිත් පේමදාස ප්‍රතික්ෂේප කලා සේම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද ප්‍රතික්ෂේප කලේය.විරුද්ධ පක්ෂයේ අනෙකුත් සියළු ප්‍රධාන නායකයින් ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා පූර්ණ අරාජත්වයකට තල්ලූ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා රාජ්‍යය එවැනි බිහිසුණු තත්වයකට තල්ලු වීම වැලකුනේ අගමැති ධූරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ බාරගැනීම නිසාය.

ඒ වන විට රට තිබුනේ ගිනි ගනිමින් තිබූ තත්වයකය.ප්‍රචන්ඩ ගැටුම් ඇතිවී ආණ්ඩු පක්ෂ නායකයින් ලොකු පිරිසකගේ නිවාස ගිනි බත් කර තිබුණ අතර රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසද ගිනි බත් කර තිබුනි.මහජන නැගිටීමක් ඇතිවීම නිසා ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තනතුර අතහැර රටින් පලායන්නට සිදුවී තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රම සිංහව වැඩ බලන ජනාධිපති ධූරයටත් පසුව පාර්ලිමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවී තිබූ ජනාධිපති ධූරයටත් තෝරා පත් කරනගන්නා ලදී.රනිල් වික්‍රම සිංහ ජනාධිපති ධූරයට පත්වන අවස්තාව වන විටත් රට තිබුනේ ගිනි ගෙන දැවෙන තත්වයකය.එක් අතකින් භාණ්ඩ ආනයනයට අවශ්‍ය ඩොලර් නැති කම නිසා ඉන්ධන,ගෑස් වැනි භාණ්ඩ සඳහා දීර්ග පොලීන් ඇති වී ජනතාව මහත් පීඩාවට පත් කරන තත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණ අතර අනෙක් අතට වර්ධනය වන අරාජක තත්වය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය මහා බිදවැටීමකට ලක්වෙමින් තිබුණි.පොලීසිය හා ආරක්ෂක හමුදා තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු නොකරන තත්වයකට පත්ව තිබුන අතර අරගල කරුවන් ජනාධිපති මන්දීරය, අරලිය ගහ මන්දීරය හා අගමැති කාර්‍යාලය වැනි රාජ්‍යයේ වැදගත් මර්මස්ථාන ගනනාවක් අල්ලාගැනීමට සමත්ව තිබුනි.

නව ජනාධිපති වරයා ඉදිරියේ ජය ගත යුතු ප්‍රධාන අභියෝග තුනක් තිබුණි.ඒවා මෙසේය:( අ) රටේ පැවති අරාජකත්වය ජයගන්නා අතර කඩා බිඳ වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රාජ්‍යය නැවත ක්‍රියා කාරී තත්වයකට ගැනීම.(ආ) තමන්ගේ මන්ත්‍රී කණඩායමක් නැති තත්වයක් තුළ තමන්ට සහාය දෙන ආණ්ඩු පක්ෂයේ සුදුසු මන්ත්‍රී වරුන් පිරිසක් යොදාගෙන බිඳ වැටී තිබෙන ආර්ථික ක්‍රියාක්කාරිත්වය වර්ධනය කිරීමට හේතුවන හා ගේවුම් ශේෂ අර්බුදය ජයගැනීම සඳහා IMF වැඩ සටහන සාර්තක ලෙස ක්‍රියාත්මක කල හැකි කාර්‍යක්ෂම කැබිනට් මණ්ඩලයක් ඇති කර ගැනීම.( ඇ) ගෙවුම් ශේෂ අර්බුදය ජය ගැනීම.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් ඉදිරියේ තිබුණ එම දුෂකර අභියෝග තුනම ජය ගත්තේය.පළමු අභියෝගය ලෙස සැලකිය හැකි අරාජකත්වය හා රාජ්‍යයේ කඩා බිඳ වැටීම වලකන ලද්දේ කිසිදු ලේ වැගිරීමකින් තොරවය.ඒ සඳහා මනුෂය ඝාතන හෝ පුද්ගලයින් රඳවා තැබීම් සිදු නොවීය.ඒ සඳහා යොදා ගැනුනේ නීතියට අනුකූලව අවම බලය පාවිච්චි කිරීමක් පමණය.දෙවැනි අභියෝගය ලෙස සැලකිය හැකි තමන් ගේ පක්ෂ කණ්ඩායමක් නැතිව අනුන්ගේ පක්ෂ කණ්ඩායමක් යොදා ගැනිමින් හොඳ සමගියකින් ක්‍රියා කරන කාර්‍යක්ෂම කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගැනීමටද සමත් විය.තුන්වැනි අභියෝගය ලෙස සැලකිය හැකි ගෙවුම් ශේෂ අර්බුදයේ වැදගත් හා දුෂකරම පංගුව ජය ගත්තේද බංකොලොත් තත්වයට පත් වෙනත් රටවල් සමග සසඳන විට අසම සම ආකාරයටය.ඇමරිකන් රාජ්‍යය දෙපාර්තමේන්තුවේ දකුණු හා මාධ්‍යම ආසියා කටයුතු බාර සකාර ලේකම් වරයෙකු වූ වෝටර් ලූ ලංකාව එම විෂයේදී අත්පත් කරගෙන තිබෙන කාර්‍ය සාදනය හඳුන්වා ඇත්තේ “විශ්ෂිටතම යළි පැමිණීම” ( Greatest comeback story) වශයෙනි.ලංකාව වැටී සිටි මහා අගාධයෙන් ගොඩ ඒමට ආසන්න බොහෝ දුරක් පැමිණ ඇතත් තවමත් වැල් පාලමෙන් යායුතු අවදානම් කලාපය මුලුමනින් පසු කර නැත.ජනාධිපතිවරණයක් කරලියට ආවේ වැල්පාලමෙන් යායුතු දුර අවසන් කිරීමට පෙරය.මෙම ජනාධිපති වරණයෙදී බංකොලොත් භාවය ජයගැනීම සඳහා යන ගමනේ අඛන්ඩතාව අරක්ෂා කර ගැනීමට ලංකාව අසමත් වෙතොත් බංගාලි දේශය ඇද වැටී තිබෙන අගාධය වැනි තැනකට ලංකාවද නැවත ඇද වැටෙන තත්වයක් ඇති විය හැකිය.ලංකාවට මුහුණ දෙන්නට සිදුවූ බංකොලොත් භාවයෙන් හා ඒ ආශ්‍රයෙන් පැන නැගුණ ප්‍රස්නවලින් රට මුදාගැනීමේ මාර්ග සැලැස්මේ නිර්මාතෲ හා නියමුවා ලෙස ක්‍රියා කලේ රනිල්ය.ගමනේ අවදානම් කලාපය පසු කරන තෙක් මෙම වැඩ සටහනේ නියමුවා වෙනස් කිරීම රටේ යහපතට හේතුවන්නේ නැත.අනෙක් අතට තරඟයේ ප්‍රධාන තරඟ කරුවන් දෙදෙනා අතර ඔහුට වඩා දක්ෂයෙකු සිටී නම් ඔහු වෙත රටේ සුක්කානම බාරදීමේ වරදක් නැතත් මේ තරඟ කරුවන් දෙදෙනාම අර්බුදය ආරම්භයේදී ඒ සඳහා පැවති පරීක්ෂනයෙන් අසමත් වුවන් බව අමතක නොකල යුතුය.එසේම එම බාරදූර වගකීම රනිල් වික්‍රමසිංහ බාර ගැනීමෙන් පසුව රට සුවපත් කිරීම සඳහා ඔහු ක්‍රියාවට නගන ලද වැඩ සටහන කඩාකප්පල් කිරීම පිනිස ක්‍රියා කලා මිස මෙම නායකයින් දෙපල එම වැඩ සටහන සාර්ථක කරගැනීම සදහා කිසිදු සහාය දීමක් සිදු නොකලේය.ඒ නිසා ඔවුන් කවරෙකු අතින් හෝ මේ වැඩ සටහන වඩා හොඳ තත්වයකින් ගෙනයාමක් සිදුවිය නොහැකිය.මේ මොහොතේ රටේ පැවැත්ම හාආරක්ෂාව සඳහා තෝරාගත හැකි හොඳම නායකයා රනිල්‍ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here