Hot News

ශ්‍රීලනිපයට හොඳම විකල්පය එජාපය හා එක්වීමයි – පාලිත රංගේ බණ්ඩාර

දැඩි අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ අවස්ථාවේ ගත හැකි හොඳම විකල්ප තීරණයක් වනුයේ එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීම බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මහනුවර, පාත හේවාහැට මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා හාල් බෙදාදීමේ උත්සවයකට 22 දින එක් වූ ඒ මහතා ඉහත අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් පළ කළ රංගෙ බණ්ඩාර මහතා මෙසේද කීය. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ බණ්ඩාරනායකලා ඩී.ආර්. රාජපක්ෂලා මුලින්ම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. ඒ පක්ෂය කඩාගෙන තමයි ඔය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ. දැන් ඒ පක්ෂය දැඩි අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ඒ පක්ෂය  මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළොත් නැවතත් ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි. දැනටමත් ඒ පක්ෂයේ වගේම තවත් පක්ෂ කිහිපයක ප්‍රධානීන්, සාමාජිකයන් අප සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ අය සියලු දෙනා එළඹෙන මැයි පළමුවෙනිදා අපේ වේදිකාවට එනවා. මෙතෙක් පැවැත්වූ මැයි දින ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය තමයි අපි මෙවර පවත්වන්නේ. ඕන කෙනෙකුට අපි සමග එකතු වෙන්න පුළුවන්.

පාස්කු ප්‍රහාරයේ මළමිනි මතින් නැවතත් දේශපාලනය කරන්න එමඟින් දේශපාලන වාසි ලබාගන්න සමගි ජන බලවේගය වගේම, ජාතික ජනබල වේගය කටයුතු කරනවා. දැන් ඒ අය කාදිනල් තුමා ළඟට ගිහිල්ලා විවිධ යෝජනා බාර දෙනවා. දැන් මේ පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරෙනකම්  හිටියේ ඇයි ඒ යෝජනා භාර දෙන්න. මැතිවරණයක් කට ළඟට එනකම් හිටියේ ඇයි කියලා අපි අහනවා. පාස්කු ප්‍රහාරය වන විට සජිත් ප්‍රේමදාස මේ රටේ තෙවැනි පුරවැසියා. ඉතින් එයාට තිබ්බනේ යෝජනා භාර දෙන්න. ඇයි මේ වෙනකන් කල් මැරුවේ. මේ අය තමයි පාස්කු ප්‍රහාරය මතින් දේශපාලනය කරන්න යන්නේ. ඒ කතෝලික ජනතාව පාවලා දෙන්න කටයුතු කළේ අපි නෙවෙයි.කාදිනල් තුමා තමයි ඒක කළේ. එතුමා පසුගියදා ප්‍රකාශයක් කළා. අපි සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂට රැවටුනා කියලා. ඉතින් අපිද කතෝලික ජනතාව රැවට්ටුවේ. 

කවුරු මොනවා කීවත් ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයක් තමයි. ඒ සඳහා තමයි මැතිවරණ කොමිසම මුදල් වෙන් කරලා තියෙන්නේ. සූදානම් වෙන්නේ. එක එක අයට එක එක මත ඉදිරිපත් කරන්න පුළුවන්. පොහොට්ටුව බැලට් පේපර් එකේ තියෙන්න ඕනේ කියන අය ඒ ලකුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි. අපේ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එන්නේ ස්වාධීන ලකුණකින් පොදු අපේක්ෂකයා විදියටයි.

මෙහිදී කාන්තා හා ළමා කටයුතු  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පාත හේවාහැට මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 8067 දෙනකු සඳහා හාල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දුන් අතර මෙම අවස්ථාවට පාත හේවාහැට එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනී කෝංගහගේ, පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ සංවිධායක නදීක නානායක්කාර , පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(කමල් සුරවීර  මහනුවර)        

                                                                                                        

                                                                                      

                                                                                        

                                                                                                

                                                                                                              

                           

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version