ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙනවා.

අද (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලන්ක්න් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබුණා.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමග ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් එම මාස 06 තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇතිකර ගතයුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබුණා.

මෙම සාකච්ඡාවේදී හෙලි වූ කරුණු අනුව අද දිනය වන විට ගුවන් යානා 16 ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිතා කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29 ක ගුවන් මෙහෙයුම් සිදු කරන බව සමාගමේ බලධාරීන් ප්‍රකාශ කළා.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම මෙහෙයුම් කටයුතු සඳහා කල් බදු පදනම මත බෙලිජියම් ගුවන් යානා 03ක් සහ Fit Air ගුවන් යානයක් සමාගම වෙත ලබා ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here