Politics
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයක් තුළින් විසඳිය නොහැකියි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ෂැංග්‍රිලා හෝටලයේ දී අද (15) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘2024 අයවැය කතිකාවත‘ අමතමින්ය.
වෙනස්වන පරිසරය තුළ වෙනස් වීම මඟින් අර්බුදයට සාර්ථක විසඳුම් සොයා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේදී ද එම ක්‍රමවේදය ඉතාම වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුබිම සකස් කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන ඇස්තමේන්තු බාහිර සාධක මත වෙනස් විය හැකියි. මක්නිසාදයත් වර්තමානයේ ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය පවා ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේ සියළු රටවල්වලට බලපානවා. ලෝක බලවතුන් එකතු වී ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ද ඒ නිසයි. මැදපෙරදිග සිදුවන දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් කළ හැකියි.
පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත් කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකියි.
මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කර ගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම පෞද්ගලිකකරණය මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. අක්කර මිලියන දෙකක පමණ ප්‍රමාණයක් බලපත්‍ර ලාභී ඉඩම් හිමියන් බවට පත් කරනවා.
ඒ වගේම හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරිමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂයෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් ද මෙම අයවැයට ඇතුළත් වෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා පවතින අවස්ථාවන් හඳුනාගෙන ඇති අතර, සංචාරකයින් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
නිෂ්පාදනයේ තරගකාරිත්වයේ අවශ්‍යතාවය පිළිගනිමින් ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ යුරෝපා සංගමය (EU) සමඟ සම්බන්ධවීම වෙනුවෙන් ද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. බංගලාදේශය සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමඟ තරග කිරීමේ අභියෝග හඳුනා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් සකස් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුයි.
එහිදී පෞද්ගලික අංශය සඳහා පෞද්ගලික නව විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. දේශගුණික විපර්යාස සඳහා නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ප්‍රධාන වරාය සහ විභව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් කලාපීය සේවා සැපයුම් සඳහා ඇති හැකියාව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. 2030-2035 වන විට නවීන ආර්ථිකයක් කරා ළඟා වීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙවරය අයවැය මඟින් අප ඉලක්ක කර තිබෙනවා.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශය, විදේශ ආධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතුයි. එවැනි කැපවීමකින් තොරව රජය පමණක් සිදු කළ හැකි කාර්ය භාරය සීමාසහිතයි.
Politics
ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Politics
“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.
දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.
එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.
මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.
Politics
ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව බිලියනපතියෙකු වන බිල් ගේට්ස් හමුවී තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්