සමගි ජනබල වේගය එක්සත් ජාතික පක්ෂය හා එක්ව මහ මැතිවරණයට තරග කිරීම යනු සමගි ජන බලවේගය සියතින් තම ගෙල සිඳ ගැනීමක් බව සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.
මහනුවර 01 දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ඉවත්වීමෙන් හිස නොමැති කවන්ධයක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය දැන් සජභයට මුවා වී තමන්ගේ පව් සෝදා ගැනීමට උත්සාහ කරන බවය.
තවදුරටත් අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීය. සමග ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේදී ජන්ද ලක්ෂ 43 කට ආසන්න සංඛ්‍යාවක් ගත්තා. මැතිවරණයේදී ඡන්දය නොදුන් ලක්ෂ 35 ත් සැලකිල්ලට ගත් කල ඉදිරියේදී විපක්ෂ වේදිකාවට තමයි ඒ බහුතර ඡන්ද ප්‍රමාණය හිමි වෙන්නේ. ඒ බහුතර ඡන්ද ප්‍රමාණය නියත වශයෙන්ම සජබය වටා ඒකරාශී වන බව දන්නා එක්සත් ජාතික පක්ෂ දූෂිත, ජාවාරම්කාර කල්ලිය සජබයට මුවාවෙලා තමන්ගේ වංචා දූෂණ සාධාරණීකරණය කරගන්න දරන උත්සාහය තමයි අපි හා එක්ව පොදු විපක්ෂයක් වශයෙන් තරග කිරීමට දැඩි උනන්දුවක්, උත්සාහයක් දැරීම. මේ දූෂිත කල්ලිය රනිල්ගෙන් ගන්න පුළුවන් හැම දේම ගත්තා. බාර් ලයිසන්, ඉන්ධන පිරවුම් හල්, රථ වාහන ඇතුළු රජයකින් ගන්න පුළුවන් සියලුම වරදාන වරප්‍රසාද මේ අය පසුගිය කාලසීමාවේ භුක්ති වින්දා.
අවසානයේ තමන්ට ගොඩ නඟා ගන්න පුළුවන් තරම් මහජන ධනය මංකොල්ල කාලා ඡන්දය ඉල්ලන්න මහා ජනතාව ඉදිරියට යන්න බැරි හින්දා ඒ ගැන ඉහත මොල පත්තු වෙලා දඟලන කොට තමයි සජබය මතක් උනේ. ඊට පස්සේ තමයි සජබය හා එක්ව තරග කරන්න සූදානම් කියලා යෝජනාවක් ගේන්නේ. මේ වෙලාවේ අපි ඒ දූෂිත කණ්ඩායමට කියන්න කැමතියි. ඉදිරි මහ මැතිවරණය ජයගැනීම සඳහා සමගි ජන බලවේගයට කාගෙවත් මුක්කු හෝ උල්පන්දම් අවශ්‍ය නොවන බව. ඉදිරි මහ මැතිවරණය ජය අරගෙන සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ අගමැති කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සමගි ජන බල වේගයට ඕන තරම් තියෙනව. සමගි ජන බලවේගය වටා තවත් ජනතාව එක් රොක් වෙමින් ඉන්නවා. මේ වෙලාවේ අපි එක්සත් ජාතික පක්ෂයට කියන්න කැමතියි, එයාලව සමගි ජන බලවේගයට සම්බන්ධ කරගන්න තරම් ඔලුවේ අමාරුවක්, පිස්සුවක් අපිට නෑ කියල. මේ අය දැන් සූදානම් වෙන්නේ එයාලට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන මහා කුණාටුවේදී සජබ ශක්තිමත් කුඩේට මුවාවෙලා නොතෙමි ඉඳලා ඒ අභියෝගය ජය ගන්නයි. අන්තිමේට නොතෙමී ඉන්න හෙවන දුන් කුඩෙත් කුඩු කරලා දාලා සමගි ජන බලවේගයට හිමි ජනවරම කොල්ලකන්න තමයි මේ අය නිර්ලජ්ජිතව උත්සාහ කරන්නේ. මේ දූෂිතයන්ට එකතු වෙන්න ඉඩ දුන්නොත් සමගි ජන බලවේගයට වෙන්නේ අන්තිමේදී අර ඔටුවට කූඩාරම ඇතුලට ඔලුව දාන්න දුන්න මිනිහට උන දේ තමයි. රාත්‍රි කාලයේ ඔටුවට සීතල වැඩි හින්දා කූඩාරමට ඔලුව දාන්න දුන්නම ඔටුව ටිකෙන් ටික තමන්ගේ මුළු ඇඟම කූඩාරම ඇතුලට දාගෙන කූඩාරම අයිති මිනිහාව එළියට පන්නලා දැම්මා. මේ දූෂිතයෝ කිට්ටු කරගත්තොත් සජබයට වෙන්නෙත් ඒ දෙය තමයි.
සමගි ජන බලවේගයේ දූෂිතයෝ කවුරුත් නෑ . වංචා දූෂණයෙන් තොර තරුණ උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරියේදී සජබයෙන් පාර්ලිමේන්තුවට එන්නේ. මේ රට විනාශ කරපු කල් ඉකුත්වූ දේශපාලනඥයෝ දැන් විශ්‍රාම ගත යුතුයි. නිසි නායකත්වයක් නොමැතිව සිටින කවන්ධයක් බඳු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා සමග ජන බලවේගය හා එක්වෙන්න කියලා එම සාමාජිකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපිත් එක්ක එකතු වෙලා, සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වෙලා. මේ රට ගොඩනගන්න එන්න කියලා අපි ඉල්ලනවා. නමුත් දූෂිතයෝ සජබයට ගන්නේ නෑ.
ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුණේ එයාලා බලයට ආපු ගමන් මේ රට විනාශ කරපු, බංකොලොත් භාවයට පත් කරපු දේශපාලඥයෝ අල්ලලා ඒ අයගේ දේපොල පවා රාජසන්තක කරනවා කියලා. ඒ ගැන නම් දැන් කතා කරනවා ඇහෙන්නේ නෑ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ රට විනාශ කරපු වංචනිකයෝ දූෂිතයෝ ඉක්මනින් හෙළි කරලා ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා.
ඒ වගේම තමයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ ප්‍රබල කතාවක් තමයි ඉන්ධන මිල අඩු කිරීම. ඒ අය එදා කිව්වා ඉන්ධන රටට ගෙන්වා බෙදාහැරීමේදී අති විශාල බදු ගහලා , කොමිස් ගහලා ඒ බර ජනතාව මට පටවනවා. අපි බලයට ආපසු දැනෙන ගණනකින් රුපියල් සිය ගණනකින් ඉන්ධන මිල අඩු කරනවා කියලා. ජනතාව ඒ දෙස බලාගෙන හිටියා. අන්තිමේදී මොකද්ද උනේ අලියෙක් විලිලා හරක් පැටියෙක්වත් වැදුවේ නෑ. මී පැටියෙක් වගේ රුපියල් 21 කින් ඉන්ධන මිල අඩු කළා. මේ අය එදා වේදිකාවේ කතා කළේ මේ ඉන්ධන මිල පිළිබඳව නිසියාකාරව හදාරන්නේ නැතිව කටට ආව දේ කියලා තමයි අපිට හිතෙන්නේ.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ජනතාවට පොරොන්දු වූ පරිදි අවම වශයෙන් රුපියල් 100 කින් හෝ ඉන්ධන මිල අඩු කරන්න කියලයි. ඒවගේම ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් භාණ්ඩ මත පටවා ඇති බදු ඉවත්කොට ඒ ආහාර හා භාණ්ඩ වල මිල ජනතාවට දැරිය හැකි ආකාරයෙන් අඩු කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
(කමල් සුරවීර – මහනුවර)