පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

පළමු හා දෙවන ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබලුන් සිහිපත් කරමින් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කෙරුණු රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම සැමරීම ද මෙහිදී සිදු කෙරිණි.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබීය.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණු අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුක් සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.

රණවිරු ස්මාරකයේ විශේෂ සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් එළිදැක්වුණු විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නාවික හමුදා සුළු නිලධාරි (විශ්‍රාමික) කේ. නිහාල් මහතා විසින් සම්පාදිත “War memorials in Sri Lanka” නමැති ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් සිදු කළේය.

සැමරුම් උත්සවයට එක්ව සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපකට ද පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here