හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් 01 දින ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා හෙද සංගමය  අවධාරණය කරයි.

සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් 31 දින පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ  මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ උන්වහන්සේ දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාරදීමෙන් පසු එම නියෝජිතයෝ මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.  

මෙම නියෝජිත කණ්ඩායම ප්‍රථමයෙන් මහා නාහිමි බැහැ දැක උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්හ.                                                                                              

මහා නාහිමියෝ මෙහිදී සඳහන් කළේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළ ඇතැම් පුද්ගලයන්ට රජයට පක්ෂව තනතුරු ලබාගත් පසු වෘත්තීය සටන් අමතක වන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  හිමියෝ මෙසේද කීහ. රජයේ සේවකයෝ වශයෙන් විශේෂයෙන් සෞඛ්‍ය වෘත්තිකයෝ වශයෙන් අසරණ රෝගී ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කොට කටයුතු කළ යුතුයි. සෑම වෘත්තිකයකුහටම ඔවුන්ගේ තනතුරුව අනුව යම්කිසි දීමනා ලබාදීම රජයේ වගකීමක්. එක් පාර්ශවයකට පමණක් නොව  සියලු දෙනාට එම දීමනා ලැබිය යුතුයි. අද සෞඛ්‍ය වෘත්තිකයෝ රට හැර යනවා. අනෙකුත් ක්ෂේත්‍රවලත් ඒ තත්ත්වයම තමයි. මේ අය රටේ රඳවා ගන්න වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාව මතම බර පටවන්නේ නැතිව  වෙනත් ක්‍රියාමාර්ග ගත යුතුයි. අද රටේ හැම ක්ෂේත්‍රයකම අර්බුද දකින්න ලැබෙනවා. නමුත් රාජ්‍ය සේවකයෝ වශයෙන් ජනතාව අපහසුතාවට පත් නොකොට තමන්ගේ ඉල්ලීම් දිනාගත යුතුයි. 

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ  සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර  කහදවආරච්චි කියා සිටියේ මෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන ක්‍රියාවලිය රජයේම කුමන්ත්‍රණයක් බැවින් ඉන් ඉවත්වීමට තම සංගමය තීරණය කළ බවය. තවදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද කීය. මේ වර්ජනයට එක් වෙන්න කියල රජයට සම්බන්ධ  වෘත්තීය සංගම් අපෙන් ඉල්ලීම් කරනවා. රජය හදන්නේ මහජනතාව හා සෞඛ්‍ය අංශ වගේම , සෞඛ්‍ය අංශ-සෞඛ්‍ය අංශ අතර ගැටුම් ඇති කරන්නයි. මේක හොඳින් තේරුම් අරගෙන තමයි අපි ඉන්නෙ. අපි අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළා. ඒ අය අපෙන් ඉල්ලුවා මාසයක් කල් දෙන්න කියලා. අපි ඒ අවස්ථාව දෙනවා. නමුත් ඉන් පසුව නිකම් ඉන්නේ නෑ. රටේ ජනතාවත් එක්ක තමයි අපි පාරට බහින්නේ. මේ සෞඛ්‍ය සේවයේ උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් වන තුරු අපි සටන ගෙනියනවා.

මෙම අවස්ථාවට සමස්ත ලංකා හෙද සංගමයේ අධ්‍යාපන ලේකම් ප්‍රභාත් පලිපාන, භාණ්ඩාගාරික  සුරේෂ් දවුලගල, මහනුවර ශාඛා ලේකම් තුෂාරි සුමනරත්න යන අයද එක්ව සිටියහ.

(කමල් සුරවීර – මහනුවර)          

                                                                

                                         

                                                                                                    

                          

                                 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here