මේ වන විට රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලු දෙනා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) දන්වා සිටියේය.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා මේ වනවිට ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා එම පෙත්සම් කැඳ වූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම් දීම කරන ලදි.
ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.
දෙපාර්ශ්ව විසින් මීට පෙර එම පෙත්සම් සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවයක් අනුව ඊට අදාළ සමථ කොන්දේසි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව දැනට ගුරු සේවයේ නිරත විසිපන්දහසක පමණක් සංවර්ධන නිලධාරීන් පිරිසක් සඳහා විශේෂ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් කරන බව සඳහන් කෙරිණ.
එහි දී ජාතික පාසල් සේවය සඳහා අවුරුදු හතළිහක උපරිම වයස් සීමාවකට යටත්වද පළාත් පාසල් සඳහා අවුරුදු 45ක උපරිම වයස් සීමාවකට අදාළවද බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බව එහි දී සඳහන් කරන ලදි.
මෙම බඳවා ගැනීම්වලට අදාළ කැබිනට පත්‍රිකාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමුකර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව අදාළ බඳවා ගැනීම සිදුකරන බව ද අතිරේක සොලසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වන කරුණු මෝසමක් මඟින් අධිකරණයට ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එහි දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කර සිටියේ අදාළ කැබිනට් මණ්ඩලය තීරණය ලැබෙන තෙක් මෙම පෙත්සම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවය. එකී කැබිනට් තීරණය සම්බන්ධයෙන් වන කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද නීතිඥවරයා සඳහන් කළේය.
පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකර විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට ගනු ලැබූ තීරණය මෙම පෙත්සම් මඟින් අභියෝගයට ලක් කර තිබුණි.
ඒ අනුව සංවර්ධන නිලධාරීන් විසිපන්දහසක පමණ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන බව එහි සඳහන් විය. එහෙත් එසේ තිබිය දී උපාධිධාරීන් සඳහා නව විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට සූදානම් වූ අතර අදාළ විභාගය ඉකුත් මාර්තු මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.
ඊට එරෙහිව මෙම පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ අතර පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ඉකුත් මාර්තු මස 22 වැනිදා නිකුත් කළේය. ඒ මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි ය. රම්සි බාචා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.