අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි සිසුවියක වෑන් රථයකින් පැහැරගෙන යාමට උත්සහ කළ  තරුණයින් සිව් දෙනෙකු කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අතර සිටින විසිහතර හැවිරිදි තරුණයෙකු මෙම සිදුවිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙන බවත් ඔහු විවාහකයෙකු බවත්  පොලීසිය පවසයි. 

හිටපු හමුදා සෙබළෙකු වන ඔහු අවිස්සාවේල්ල කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වෑන් රථයක් කුලියට ගෙන තවත් තරුණයින් තිදෙනෙකු සමඟ ඊයේ (15) දහවල් මහනුවරට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි සිසුවියගේ සහෝදරයෙකු හමුදා සේවයේ නියුක්තව සිටින බවත් ඔහු සමඟ අවස්ථා ගණනාවක දී නිවසට පැමිණ තිබෙන ප්‍රධාන සැකකරු සිසුවිය හා ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් පසුව ඇයව රැගෙන ගොස් වෙනත් නිවසක නවත්වා තිබෙන බවත් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

ඔහු විවාහකයෙකු බව දැන ගැනීමෙන් පසු සිසුවිය යළි පොළොන්නරුවේ නිවස කරා පැමිණ  ඇත. අදාළ තරුණයාගෙන් නිතර සිදුවන බලපෑම් හේතුවෙන් දෙමව්පියන් ඇයව මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවසක නතර කර ඇත. ප්‍රධාන සැකකරු එම නිවසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍යය බව පවසා ඇය යළිත් කුළුගම්මන නිවසට පැමිණ ඇත. විභාගය නිමා වීමෙන් පසු ඇය තමන් සමඟ නොපැමිණේ යැයි සිතා පැහැර ගැනීම සිදුකළ බව සැකකරු පොලීසියට පවසා තිබේ.

කුළුගම්මන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබ තිබෙන සිසුවිය නුගවෙල මධ්‍ය මහා විදුහලේ දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

විභාගය අවසන් වී ඇය මිතුරන් දෙදෙනෙකු සමඟ යළි නිවසට යමින් සිටිය දී වෑන් රථයෙන් පැමිණි පිරිස බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වාගෙන පළාගොස් තිබේ.එම අවස්ථාවේ ඇය අසළ සිටි අනෙක් සිසුන් දෙදෙනා වෑන් රථයේ අංකය සටහන් කර ගැනීමෙන් පසු පොලිස් හදිසි ඇමැතුම් අංශයට සිද්ධිය දැනුම් දී ඇත.

හදිසි ඇමැතුම් අංශය මගින් අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ට ඒ  බව දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායම් දෙකක් වහා ක්‍රියාත්මක වී සිද්ධියෙන් පැයක් ගත වන්නට මත්තෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.මහනුවර කොට්ඨස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත අලදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු කණිඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(කමල් සුරවීර  මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here