හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද ලිඛිතව සිය විරෝධතා කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නා.

ඒ අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here