මාපනවතුර ප්‍රදේශයේ පිහිටි මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක හොර නෝට්ටු තිබෙන බව කියමින් හොර නෝට්ටු තොගයක් ද රැගෙන ගොස් ව්‍යාපාරිකයා සතු මුදල් කොල්ල කෑමට උත්සහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ හොර නෝට්ටු තිබූ බවට සැකකරුවන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන මහනුවර පොලීසියේ හදිසි ඇමැතුම් අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවසරය ලබාගෙන අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. අත්අඩංගුවේ පසුවන අනෙක් පොලිස් නිලධාරියා කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකි. ඔහු කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හය දෙනා ප්‍රකාශ කරන්නේ අදාළ ව්‍යාජ මුදල් ව්‍යාපාරිකයා සතු බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරිකයා අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන තම නිවසට පැමිණ තමන් සතු මුදල් කොල්ලකෑමට උත්සහ කළ බව පොලීසියට පවසා තිබේ.
මෙයට සතියකට පමණ ඉහත දී තමන් සතු නිවසක් රුපියල් කෝටි 06 ක මුදලකට විකුණූ බවත් එම මුදල් වලින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් තමන් සන්තකයේ තිබූ බවත් ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.
තම නිවසට පෙරේදා (15) පස්වරු 6.00 ට පමණ පැමිණි පිරිස නිවසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබෙන බවට තොරතුරක් ලැබුණු බව කියමින් නිවස පරීක්ෂා කළ බවත් ඔවුන් සන්තකයේ තිබූ ව්‍යාජ නෝට්ටු තොගයක් තම සැබෑ මුදල් වලට මාරු කිරීමට එම පිරිස උත්සහ කරත් දී තමන් ඊට ඉඩ නොදුන් නිසා පොර බැදීමක් සිදුවූ බවත් ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් සොයා ගැනීමෙන් පසු හදිසි ඇමැතුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැකකරුවෙකු රැගෙන යාම සඳහා වාහනයක් එවන ලෙස පොලීසියට දැනුම් දීමක් ද කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ක්ෂණකව ක්‍රියාත්මක වී මහනුවර පොලිස් මූලස්ථානාධිපතිවරයා ඔහුගේ නිල වාහනය අදාළ ස්ථානයට යැවීමට පියවර ගෙන තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ දී සිදු වූ පොර බැදීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාව සමඟ මොහු මෙම දුරකතන ඇමැතුම ලබා දුන්නේ ද යන්න සම්බන්ධයෙන් පොලීසියට බරපතළ සැකයක් මතුව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාපාරිකයාගේ නිවසට රැගෙන ගිය බවට සැක කෙරෙන රුපියල් 5000 ව්‍යාජ නොට්ටු 103 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. ව්‍යාපාරිකයා සතු බව කියන රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයාගෙන ඇත.
අදාළ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පටිගත වන කොටස සැකකරුවන් ගලවාගෙන ගොස් තිබෙන බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලිපිකරුවෙකු ද සිටින බව වාර්තා වේ. සැකකරුවන් ගේ පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙන අතර සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(කමල් සුරවීර – මහනුවර)