ලංකාවේ ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය උදෙසා අවංකවම කටයුතු කිරීමට චීන රජය නිරතුරුවම සූදානම් බව චීනයේ ශ්රී ලංකා නියෝජ්ය තානාපති යැන්වෙයි සූ (yanwei zhu ) මහතා පවසයි.
ඒ මහතා 01 දින පස්වරුවේ මහනුවරදී මල්වතු අස්ගිරි නාහිමිවරුන් හමුවේ ඉහත අදහස් පළ කළේය.
නියෝජ්ය චීන තානාපතිවරයා ප්රථමයෙන් අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී නාහිමිවරු හමුවේ අදහස් පලකල නියෝජ්ය තානාපතිවරයා මෙසේද කීය. ශ්රී ලංකාව හා චීනය අතර වසර 2000 කට අධික ඉපැරණි සම්බන්ධතාවයක් තිබෙනවා. එදා පාහියන් භික්ෂූන් වහන්සේ ශ්රී ලංකාවට වැඩම කළ පසු ශ්රී ලංකාවෙන් තමයි බුදුදහම සම්බන්ධයෙන් බොහෝ දෑ චීනයට ලැබුණේ. ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා මත දෙරටේ බුදු දහමේ උන්නතිය උදෙසා අවශ්ය සියලු කටයුතු හා පහසුකම් සලසන්න අපි සූදානම්. චිනයේ කෝටි දහයකට අධික බෞද්ධ ජනතාවක් ඉන්නවා. ශ්රී ලංකාවේ ඕනෑම ක්ෂේත්රයකට අවශ්ය සහයෝගය ලබා දෙන්න අපි නිරතුරුවම සූදානමින් ඉන්නවා. බෞද්ධආගම හා බැඳුණු දීර්ඝ මිතු දහම දෙරටේ තිබෙනවා. ඒ මිතු දහම තව තවත් ශක්තිමත් කරගන්න ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා.
මෙහිදී මහානාහිමිවරු දෙපොළ සඳහන් කළේ ශ්රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත්ව ගැටළු විසඳාගැනීම සඳහා සහයෝගය ලබා දීම ඉතාමත් අගය කරන බවය. එම සහයෝගය අනාගතයේදීද අපේක්ෂා කරන බවද මෙහිදී නාහිමිවරු දෙපොළ වැඩිදුරටත් සඳහන් කළහ.
(කේ.එල්. සුරවීර මහනුවර)