බුදු දහම විනාශ කිරීමට විවිධ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් හා සංවිධානවලට එරෙහිව මහා නාහිමිවරුන් මෙන්ම විද්වත් ජනතාව ඉදිරිපත් වීමට කාලය එළඹ ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසන රතන හිමියෝ පවසති.
මහනුවරදී 10 දින පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ මේ වන විට නොයෙකුත් බලවේග බුදු දහම විනාශ කිරීම සඳහා දෘෂ්‍යමානව මෙන්ම අදෘශ්‍යමානව කටයුතු කරනා බැවින් එම බලවේගවලට එරෙහිව සම්බුදු ශාසනය ආරක්ෂා කිරීම සඳහා බෞද්ධයන් වශයෙන් එක්ව කටයුතු කිරීමට අවස්ථාව පැමිණ ඇති බවය.
ඇතැම් පුද්ගලයන් මහණ වේශයෙන් මෙන්ම විවිධ වේශයන් ආරූඪ කර ගනිමින් තමන් රහත්ව, සෝවාන්ව, මාර්ගඵල ලබා ඇති බව පවසමින් මහා පරිමාණයෙන් ජනතාව රවටමින් සිටින බවත්, ඇතැමුන් බුදුවරු, බෝධිසත්ත්වවරු, මුනිවරු ආකාරයෙන් හඳුන්වා දෙමින් බුදු දහමට නිගා දෙන අයුරින් කටයුතු කිරීම ජාතික සංඝ සම්මේලනය වශයෙන් හෙළා දකින බවද උන් වහන්සේ පැවසූහ.
බටහිර යුරෝපීය රටවල් බුදු දහම වැළඳ ගැනීම සඳහා උනන්දු වෙත්දි තවත් පිරිසක් බුදුදහම විනාශ කිරීම සඳහා තැත් කිරීම ඉතාමත් කණගාටුදායක බවත් බුද්ධාගම ආරක්ෂා කරන බවට ව්‍යවස්ථාවෙන් සපථ කොට ඇති රජය මෙම පුද්ගලයන් හට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.
(කමල් සුරවීර – මහනුවර)